අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
4. පඨම සද්‍ධම්මන්තරධාන සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පසක් සද්‍ධර්‍මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය නොඅසත්ද, සකස්කොට ධර්‍මය නොපිරිවහත්ද, සකස්කොට ධර්‍මය නොදරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂා නොකරත්ද, සකස්කොට අන්‍ර්‍ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්‍මයෙහි නොපිළිපදිද්ද යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පසක් සද්‍ධර්‍මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහු සකස්කොට ධර්‍මය අසත්ද, සකස්කොට ධර්‍මය පිරිවහත්ද, සකස්කොට ධර්‍මය දරත්ද, සකස්කොට දරන ලද ධර්‍මයන්ගේ අර්ත්‍ථය පරීක්‍ෂා කරත්ද, සකස්කොට අර්ථය දැන, ධර්මය දැන, ධර්මයට අනු ධර්මයෙහි පිළිපදිත්ද යන පසයි.’’
’’මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස පවතිත්.