අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(16) 1. සද්‍ධම්ම වර්‍ගය

5. දුතිය සද්‍ධම්මන්තරධාන සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.

’’කවර පසක්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්මය නොපිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට නොකියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතී. ’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා නොකෙරෙත්ද, අනුව නොසොයත්ද, සිතින් අනුව සළකා නොබලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස, අතුරුදන්වීම පිණිස පවතියි.

’’මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදහන්වීම පිණිස පවතිත්.

’’මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අබ්භූත ධර්මය, වෙදල්ලය යන ධර්‍මය පිරිවහද්ද, මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන්නොවීම පිණිස පවතියි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවත්ද, මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතී.

’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කෙරත්ද, මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි. ’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු අසන ලද පරිදි, පිරවහන ලද පරිදි ධර්මය සිතින් අනුව කල්පනා කරත්ද, අනුව සොයත්ද, සිතින් අනුව සළකා බලත්ද, මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්‍ධර්‍මයාගේ මුවහ නොවීම පිණිස, අතුරුදන් නොවීම පිණිස පවතියි.

’’මහණෙනි, මේ ධර්ම පසක් සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, මුවහනොවීම පිණිස අතුරුදන්නොවීම පිණිස පවතිත්.