අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
6. තතිය සද්‍ධම්මන්තරධාන සූත්‍රය
’’මහණෙනි, මේ ධර්‍ම පසක් සද්‍ධර්‍මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු නොමනා කොට ගන්නා ලද සූත්‍රාන්තය නපුරුකොට බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, අයහපත්කොට බහණලද පද ව්‍යඤ්ජන ඇත්තහුගේ අර්ථයද දුරවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම
සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු නපුරු වචන ඇත්තාහු, අකීකරුභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු නොඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් නොගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්‍මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, පැමිණි ආගම ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඒ භික්‍ෂූහු සකස්කොට සූත්‍රාන්තය අනිකාට නොකියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ පිළිසරණ රහිත වේත මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතියි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බහුල කොට ඇත්තාහු, සස්න ලිහිල් කොට ගත්තාහු, නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරි වූවාහු, උතුම් විවේක යෙහි බහා තබන ලද ධුර ඇත්තාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් නොගණිද්ද, ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී, සස්න ලිහිල් කොට ගැණීම ඇත්තී. නීවරණයන්ට බැස ගැන්මෙහි පෙරදැරිවූවා, උතුම් විවේකයෙහි බහා තබන ලද ධුර ඇත්තී වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලබන ලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රතයක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යය පටන් නොගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම බිඳුනේ වේද, මහණෙනි, භික්‍ෂු සංඝයා බිඳුනු කල්හි වනාහි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද වෙත්. ඔවුනොවුන්ට නින්‍දා කරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද වෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද වෙත්. එහි අප්‍රසන්න වූවාහුද නොපහදිත්. ප්‍රසන්නවූද ඇතැම් කෙනෙකුගේ අන් පරිදි බව වේ. මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, මේ ධර්‍ම පසක් සද්‍ධර්‍මයාගේ මුවහවීම පිණිස අතුරුදන්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතිත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂූහු මනාව ගන්නා ලද සූත්‍රාන්තය මනාව බහණලද පද ව්‍යඤ්ජනවලින් යුක්තව පිරිවහද්ද, මහණෙනි, මනාව බහණලද පද ව්‍යඤ්ජන ඇති සූත්‍රාන්තයාගේ අර්ථයද සුඛාවබෝධ වේ. මහණෙනි, මේ පළමුවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂූහු යහපත් වචන ඇත්තාහු, සුවචභාවය කරන්නාවූ ධර්මයන්ගෙන් යුක්තවූවාහු ඉවසන්නාහු අනුශාසනාව පැදකුණු කිරීමෙන් ගන්නාහු වෙත්ද, මහණෙනි, මේ දෙවන ධර්‍මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි. ’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. බහුශ්‍රුතවූ, දැනගත් පිටකත්‍රය ඇත්තාවූ, ධර්මය දරන්නාවූ, විනය දරන්නාවූ, මාතෘකා දරන්නාවූ යම් ඒ භික්‍ෂූහු වෙත්ද, ඔවුහු සකස්කොට අනිකාට කියවත්ද, ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය තෙම සුන්වූ මුල් ඇත්තේ නොවේ. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තුන්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු නොවෙද්ද, සස්න ලිහිල් කොට ගත්තාහු නොවෙද්ද, නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබණලද ධුර ඇත්තාහු, උතුම් විවේකයෙහි පෙරදැරි වූවාහු වෙද්ද, නොපැමිණියහුගේ පැමිණීම පිණිස, නොලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිස, වීර්‍ය්‍යය පටන් ගණිත්ද, ඔවුන්ගේ පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද ප්‍රත්‍ය බහුලකොට ඇත්තී නොවේ, සස්න ලිහිල් කොට ගැන්ම ඇත්තී නොවේ. නීවරණයන්ට බැස ගැන්මෙහි බහා තබනලද ධුර ඇත්තී, උතුම් විවේකයෙහි පෙරදැරි වේ. නොපැමිණියහුගේ පැමිණීම පිණිස. නොලද්දහුගේ ලැබීම පිණිස, ප්‍රත්‍යක්‍ෂ නොකරණ ලද්දහුගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වීර්‍ය්‍යය පටන් ගණියි. මහණෙනි, මේ සතරවන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
’’මහණෙනි, නැවත අනිකක්ද කියමි. සංඝතෙම සමගිවූයේ, සතුටුවනු ලබන්නේ, විවාද නොකරන්නේ, එක්ව උදෙසීම් ඇත්තේ, පහසුවෙන් වාසය කෙරේද, මහණෙනි, සංඝයා වනාහි සමගිවූ කල්හි ඔවුනොවුන්ට ආක්‍රොෂ කරන්නාහුද නොම වෙත්. ඔවුනොවුන්ට නින්‍දා නොකරන්නාහුද වෙත්. ඔවුනොවුන් දුරු කරන්නාහුද නොවෙත්. ඔවුනොවුන් හැර දමන්නාහුද නොවෙත්. එහි අප්‍රසන්න වූවාහුද පහදිත්. ප්‍රසන්නවූවන්ගේද බහුලතාවය වේ මහණෙනි, මේ පස්වන ධර්මය තෙම සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතියි.
’’මහණෙනි, මේ ධර්‍ම පසක් සද්ධර්මයාගේ මුවහ නොවීම පිණිස අතුරුදන් නොවීම පිණිස පවතිත්.