අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(16) 1. සද්‍ධම්ම වර්‍ගය
9. දුක්කර ධම්ම දෙසනා සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙම මහත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලද්දේ ධර්‍ම දේශනා කරමින් හුන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම මහත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලදුව ධර්‍ම දේශනා කරමින් උන්නාවූ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය.
’’එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. ’’ස්වාමීනි, ආයුෂමත් උදායී ස්ථවිර තෙම මයත්වූ ගිහි පිරිසකින් පිරිවරණ ලද්දේ ධර්‍මය දේශනා කෙරේය’’ යි.
’’ආනන්‍දය, අනුන්ට ධර්‍මය දේශනා කරන්ට පහසු නොවේමැයි. ආනන්‍දය, අනුන්ට ධර්‍මය දේශනා කරන්නහු විසින් ධර්‍ම පසක් තමන් කෙරෙහි පිහිටුවා අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ.
’’කවර පසක්ද යත්? පිළිවෙළ කථාව කියන්නෙමියි අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ. කරුණු දැක්වීම් ඇත්තේ කථාව කියන්නෙමියි අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ. අනුකම්පා ඇතිබව නිසා කථාව කියන්නෙමියි අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ. ආමිෂ ලාභය බලාපොරොත්තු නොවන්නේ කථාව කියන්නෙමියි අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ. තමන්ද, අනුන්ද ගුණයෙන් නොපෙලා කථාව කියන්නෙමියි අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ. (යන පසයි.)
’’ආනන්‍දය, අනුන්ට ධර්‍මය දේශනා කරන්ට පහසු නොවේමැයි. ආනන්‍දය, අනුන්ට ධර්‍මය දේශනා කරන්නහු විසින් ධර්‍ම පසක් තමන් කෙරෙහි පිහිටුවා අනුන්ට ධර්‍මය දේශනා කටයුතු වේ.