අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(19) 4. ආරඤ්ඤක වර්‍ගය

3. පඤ්චරුක්ඛමූලික සූත්‍රය

’’මහණෙනි, මේ රුක්මුල්හි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්.

’’කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි රුක්මුල්හි වාසය කරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, රුක්මුල්හි වසන්නෙක් වේ. යන පස් දෙනයි.

’’මහණෙනි, මේ රුක්මුල්හි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්.

’’මහණෙනි, රුක්මුල්හි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ රුක්මුල්හි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා රුක්මුල්හි වසන්නෙක් වේද, මෙතෙම රුක්මුල්හි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, රුක්මුල්හි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ රුක්මුල්හි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා රුක්මුල්හි වසන්නෙක් වේද, මෙතෙම රුක්මුල්හි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.