අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(19) 4. ආරඤ්ඤක වර්‍ගය

2. පඤ්චපංසුකූලික සූත්‍රය

’’මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්.

’’කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, පංසුකූල දරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පංසුකූල දරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් පංසුකූල දරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි පංසුකූල දරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, පංසුකූල දරන්නෙක් වේ. යන පස් දෙනයි.

’’මහණෙනි, මේ පංසුකූල දරන්නාහු පස් දෙනෙක් වෙත්.

’’මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පංසුකූල දරන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ආරණ්‍යයෙහි වසන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.