අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)
1. සුනඛධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍ම පසක් මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නා නොලැබෙත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ බැමිණිය වෙතම පැමිණෙත්. නොබැමිණිය වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ බැමිණිය වෙතද පැමිණෙත්. නොබැමිණිය වෙතද පැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ බැල්ලිය වෙතම පැමිණෙත්. බැල්ලියන් නොවූවන් වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ පළමුවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
’’මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ ඔසප්වූම බැමිණිය වෙත පැමිණෙත්. ඔසප් නොවූ බැමිණිය වෙත නොපැමිණෙත්. මහණෙනි. මේ කාලයෙහි ඔසප්වූද බැමිණිය වෙත පැමිණෙත්. ඔසප්නොවූද බැමිණිය වෙත පැමිණෙත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ ඔසප්වූම බැල්ලිය වෙත පැමිණෙත්. ඔසප්නොවූ බැල්ලිය වෙත නොපැමිණෙත්. මහණෙනි, මේ දෙවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
’’මහණෙනි. පෙර වනාහි බ්‍රාහ්මණයෝ බැමිණිය මිලදී නොම ගනිත්. නොවිකුණත්. ස්වකීය පුරුෂයා සමගම සංවාසය සංසර්‍ගය පිණිස පවත්වත්. මහණෙනි. මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ බැමිණිය මිලදී ගැණීමද කෙරෙත්. විකිණීමද කෙරෙත්. ස්වකීය ප්‍රියයා සමගද සංවාසය සංසර්‍ගය පිණිස පරම්පරාව ගැළපිම පිණිස පවත්වත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ බැල්ලිය මිළදී නොම ගනිත්. නොවිකුණත්. ස්වකීය ප්‍රිය වූවෙකු සමගම සංවාසය සංසර්‍ගය පිණිස පවත්වත්. මහණෙනි, මේ තුන්වනවූ පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
’’මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම නොකෙරෙත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම කරත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ ධනයද, ධාන්‍යයද, රිදීද, රත්‍රංද රැස්කොට තැබීම නොකරත්. මහණෙනි, මේ සතරවන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
’’මහණෙනි, පෙර වනාහි බ්‍රාහ්මණයෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද, ආහාරය සොයත්. මහණෙනි, මේ කාලයෙහි බ්‍රාහ්මණයෝ කැමති පමණ බඩ ගන්නා තුරු අනුභවකොට ඉතිරි දෙය හැරගෙන යත්. මහණෙනි, මේ කාලයෙහි බල්ලෝ සවස්හි සවස බත පිණිසද, උදෑසන උදය බත පිණිසද ආහාර සොයත්. මහණෙනි, මේ පස්වන පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍මය තෙම මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබේ. බ්‍රාහ්මණ්යන් කෙරෙහි නොදක්නා ලැබේ.
’’මහණෙනි, මේ පුරාණවූ බ්‍රාහ්මණ ධර්‍ම පසක් මේ කාලයෙහි ශුනඛයන් කෙරෙහි දක්නා ලැබෙත්. බ්‍රාහ්මණයන් කෙරෙහි දක්නා නොලැබෙත්.