අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(19) 4. ආරඤ්ඤක වර්‍ගය

10. පඤ්චපත්තපිණ්ඩික සූත්‍රය

’’මහණෙනි, මේ පත්තපිණ්ඩික වූවාහු පස් දෙනෙක් වෙත්.

’’කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, පත්තපිණ්ඩික වූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පත්තපිණ්ඩික වූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් පත්තපිණ්ඩික වූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි පත්තපිණ්ඩික වූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, පත්තපිණ්ඩික වූවෙක් වේ. යන පස් දෙනයි.

’’මහණෙනි, මේ පත්තපිණ්ඩික වූවාහු පස් දෙනෙක් වෙත්.

’’මහණෙනි, පත්තපිණ්ඩික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පත්තපිණ්ඩික වූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්තපිණ්ඩික වූවෙක් වේද, මෙතෙම පත්තපිණ්ඩික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, පත්තපිණ්ඩික වූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පත්තපිණ්ඩික වූවාවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්තපිණ්ඩික වූවෙක් වේද, මෙතෙම පත්තපිණ්ඩික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

අරඤ්ඤවග්ගො චතුත්ථො.