අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

2. චිත්ත සේඛබල සූත්‍රය

’’මහණෙනි, සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ මේ පසෙක් වෙත්. කවර පසෙක්ද යත්, ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන මේ පසයි.

’’මහණෙනි, ශ්‍රද්‍ධා බලය කවරේද යත්. මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, මෙහි අදහයිද, මහණෙනි, මේ ශ්‍රද්‍ධා බලයයයි කියන්‍ර ලැබේ.

’’මහණෙනි, හිරි බලය නම් කවරේද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාපයට ලජ්ජා ඇත්තේ වේද, කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනො දුශ්චරිතයට, පිළිකුල් කෙරේද? ලාමකවූ අකුශල ධර්‍මයන්ට පැමිණීමට පිළිකුල් කෙරේද, මහණෙනි, මේ හිරි බලයයි කියණු ලැබේ.

මහණෙනි, ඔත්තප්ප බලය නම් කවරේද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පාපයට භය ඇත්තේ වේද, කාය දුශ්චරිතයට, වාක් දුශ්චරිතයට, මනො දුශ්චරිතයට, භය වේද, ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ පැමිණීමට භය වේද, මහණෙනි, මේ ඔත්තප්ප බලයයි කියණු ලැබේ.

මහණෙනි, වීර්‍ය්‍ය බලය නම් කවරේද යත්, මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අකුශල ධර්මයන් දුරු කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ, ශක්තිමත් වූයේ, දෘඪ වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇත්තේ, වාසය කෙරේද, මහණෙනි, මේ වීර්‍ය්‍ය බලයයි කියණු ලැබේ.

මහණෙනි, ප්‍රඥා බලය නම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම පිරිසිදුවූ කෙළෙසුන් බිඳීම ඇත්තාවූ, මනාකොට දුක් ක්‍ෂය කිරීම පිණිස පවත්නාවූ, පඤ්චස්කන්‍ධයන්ගේ ඇතිවීමද, නැතිවීමද දැනගන්ට සමර්ත්‍ථවූ, විදර්‍ශනා ප්‍රඥාවෙන් හා මාර්‍ග ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙය ප්‍රඥා බලයයි කියණු ලැබේ.

’’මහණෙනි, මේ පස වනාහි සප්තවිධ ශෛක්‍ෂයන්ගේ බලයෝ වෙත්.