අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. සෙඛබල වර්‍ගය

3. දුක්ඛවිහාර සූත්‍රය

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.

’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට බිය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන මේ පසිනි. මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම පීඩා සහිතව, දැඩි ආයාශයෙන් යුක්තව, හාත්පස දැවීමෙන් යුක්තව, දුකසේ වාසය කෙරෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි දුර්‍ගතියද කැමතිවිය යුතුයි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.

’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පාපයට ලජ්ජා ඇත්තේ වේද, පාපයට භය ඇත්තේ වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥාව ඇත්තේ වේද, යන මේ පසිනි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම මේ ආත්මයෙහිම දුක් රහිතවූ, දැඩි ආයාශ රහිතව, හාත්පස දැවීම් රහිතව, සුවසේ වාසය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සුගතියද කැමතිවිය යුතුයි.