අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(23) 3. දීඝ චාරිකා වර්‍ගය
7. භොගාදීනව සූත්‍රය
’’මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.
’’කවර පසක්ද යත්? සම්පත් ගින්න හා සාධාරණ වෙත්. සම්පත් ජලය හා සාධාරණ වෙත්. සම්පත් රජුන් හා සාධාරණ වෙත්. සම්පත් සොරුන් හා සාධාරණ වෙත්. සම්පත් අප්‍රියවූ දායාදයන් හා සාධාරණ වෙත්. යන පසයි.
’’මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසක් වෙත්.
’’මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? භෝගයන් හෙවත් සම්පත් නිසා තමන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මව්පියන් සුවපත් කරවයි. පිනවයි. මනාව සැපසේ පරිහරණය කරයි. අඹුදරුවන්ද, දැසිදස් කම්කරු පුරුෂයන්ද සුවපත් කරවයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් සුවපත් කරයි. පිනවයි. මනාව සුවසේ පරිහරණය කරයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු භවයන්හි උතුම් විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැප පිණිස පවත්නාවූ දක්‍ෂිණාව පිහිටුවයි යන පසයි.’’
’’මහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසක් වෙත්.