අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(24) 4. ආවාසික වර්‍ගය

1. අභාවනියා වාසික සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

’’කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයන්ගෙන් යුක්ත නොවූයේ, වත් සම්පන්න නොවේද, බහුශ්‍රුත නොවූයේ ඇසූ දෙය දරන්නේ නොවේද, සැහැල්ලු පැවතුම් ඇති බව නොවූයේ විවේකයෙහි ඇළුම් නැත්තේ වේද, යහපත් වචන නැත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ නොවේද, ජඩවූ, කෙළතොලුවූ දුෂ්ප්‍රාඥයෙක් වේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම නොවැඩිය යුතුවේ. හෙවත් බුහුමන් නොකට යුතුවේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.

’’කවර පසකින්ද යත්? ශ්‍රමණ කල්පයෙන් යුක්ත වූයේ, වත් සම්පන්නයෙක් වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තේ, ඇසූ දෙය දරන්නෙක් වේද, සැහැල්ලු බැව් ඇත්තේ, විවේකයෙහි ඇලුනෙක් වේද, යහපත් වචන ඇත්තේ, යහපත් වචනයෙන් කරණ කටයුතු ඇත්තේ වේද, ජඩ නොවූ, කෙළ තොලු නොවූ ප්‍රඥා ඇත්තෙක් වේද යන පසිනි.’’

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම වැඩිය යුත්තෙක් හෙවත් බුහුමන් කටයුත්තෙක් වේ.