අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(25) 5. දුච්චරිත වර්‍ගය

9. සීවථිකාදීනව සූත්‍රය

’’මහණෙනි, අමු සොහොනෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?

’’අපවිත්‍රවේ. දුර්ගන්‍ධ වේ. ප්‍රතිභය සහිතවේ. චණ්ඩ අමනුෂ්‍යයන්ට ආවාස වේ. බොහෝ දෙනා අඬන තැන වේ. යන පසයි.

’’මහණෙනි, අමු සොහොනෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?

’’මහණෙනි, මෙපරිද්දෙන්ම අමු සොහොනට බඳු උපමා ඇති පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අපිරිසිදු කාය කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්‍මයෙන් යුක්ත වේද.

මෙය මොහුගේ අපිරිසිදු බවයයි කියමි. ’’මහණෙනි, ඒ සොහොන යම් සේ අපිරිසිදු වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. අපිරිසිදු කාය කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්‍මයෙන් යුක්ත වේද. ඔහුගේ ලාමකවූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මෙය මොහුගේ දුර්‍ගන්‍ධ භාවයයි කියමි. මහණෙනි, යම් සේ ඒ සොහොන දුර්‍ගන්‍ධ වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. අපිරිසිදු කාය කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්‍මයෙන් යුක්ත වේද.

ඔහු ප්‍රියසීලී බ්‍රහ්මචාරීහු දුරින් දුරු කෙරෙත්. මෙය මොහුගේ ප්‍රතිභය සහිතවීම යයි කියමි. මහණෙනි, ඒ සොහොන යම් සේ ප්‍රතිභය සහිත වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. අපිරිසිදු කාය කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්‍මයෙන් යුක්ත වේද. හෙතෙම සභාගවූ (තමන්ගේ ගුණයන්ට සමාන ) පුද්ගලයන් සමග වාසය කෙරේද, මෙය මොහුගේ චණ්ඩ අමනුෂ්‍යයන් හා වාසය කිරීමයයි කියමි. මහණෙනි, යම් සේ ඒ සොහොණ චණ්ඩවූ අමනුෂ්‍යයන්ට වාසස්ථාන වේද, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි. අපිරිසිදු කාය කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු වාක් කර්‍මයෙන් යුක්ත වේද. අපිරිසිදු මනො කර්‍මයෙන් යුක්ත වේද. ඔහු ප්‍රියශීලීවූ සබ්‍රහ්මචාරීහු දැක ගුණ ගටා කියයුතු බවට පැමිණෙත්. යම්බඳුවූ අපි මෙබඳු පුද්ගලයන් සමග වාසය කරමුද, අපට ඒකාන්තයෙන් දුකය කියායි. මෙය මොහුගේ හඬන තැන්වීමයයි කියමි. මහණෙනි, යම් සේ ඒ සොහොන බොහෝ දෙනාට හඬන තැන් වේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.

’’මහණෙනි, මෙපරිද්දෙන්ම අමු සොහොනට බඳු උපමා ඇති පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.