අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(6) 1. නීවරණ වර්‍ගය

8. ලිච්ඡවිකුමාර සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් නුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරවා, පා සිවුරු ගෙන විසල් නුවරට පිඬු පිණිස පිවිසි සේක. විසල් නුවර පිඬු පිණිස හැසිර පසු බත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ, මහ වනයට ඇතුල්ව,

’’එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණයෙන් වැඩහුන් සේක. එතල්හි වනාහි බොහෝවූ ලිච්ඡවි කුමාරයෝ ඊයෙන් සාදන ලද දුනු ගෙණ, සුනඛ සමූහයා විසින් පිරිවරණ ලද්දාහු, මහ වනයෙහි ඔබ මොබ සක්මන් කරන්නාහු, ඔබ මොබ හැසිරෙන්නාහු, එක්තරා රුක් මුලෙක්හි දිවා විහරණයෙන් වැඩ හුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවාහුය. දැක, ඊවලින් සරසන ලද දුනු බහා තබා, සුනඛ සමූහයා එක් පැත්තකට යවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, නිශ්ශබ්ද වූවාහු, නිශ්ශබ්ද වූහ. (ඇඳිලි බැන්දාහු භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්.)

’’එතල්හි වනාහි මහානාම නම් ලිච්ඡවි තෙම මහ වනයෙහි පා ගමනින් ඔබ මොබ සක්මන් කරන්නේ, ඔබ මොබ හැසිරෙන්නේ, නිශ්ශබ්දවූ, ඇඳිලි බැන්දාවූ, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාවූ, ඒ ලිච්ඡවි කුමාරයන් දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව උන්නාවූම මහානාම නම් ලිච්ඡවි තෙම ප්‍රීති වාක්‍ය පැවැත්වූයේය. ’වජ්ජිහු වැඩෙන්නාහුය, වජ්ජිහු වැඩෙන්නාහුය’’ යි.

’’මහානාමය, කුමකට වනාහි නුඹ, ’වජ්ජිහු වැඩෙන්නාහුය, වජ්ජිහු වැඩෙන්නාහුය’ යි. මෙසේ කියන්නෙහිද?’’ ’’ස්වාමීනි, මේ ලිච්ඡවි කුමරුවෝ චණ්ඩයෝය, ඵරුෂයෝය, උඩඟු වූවෝය. යම් ඒ කුලයන්හි යැපිය යුතු වූවන් යවනු ලබත්ද, උක්ය කියා හෝ, ඩෙබරය කියා හෝ, කැවුම්ය කියා හෝ, අග්ගලාය කියා හෝ, සක්ඛලිකාය කියා හෝ ඒවා උදුරාගෙන කත්. කුල ස්ත්‍රීන්ගේද, කුල කුමරියන්ගේද, පස්සෙන් ගොස් පයින් ගසත්. දැන් ඒ මොව්හු නිශ්ශබ්ද වූහ. නිශ්ශබ්ද වූවාහු, ඇඳිලි බැන්දාහු, භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරත්.’’

’’මහානාමය, යම් කිසි කුල පුත්‍රයෙකුගේ ධර්‍ම පසක් විද්‍යමාන වෙද්ද, ඉදින් මස්තකයෙහි අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රියවූ රජෙකුගේ හෝ, ඉදින් පියා විසින් දෙන ලද රට අනුභව කරන්නෙකුගේ හෝ, ඉදින් සේනාවට අධිපතිවූ සෙනෙවියෙකුගේ හෝ, ඉදින් ගමට අධිපති ගම් දෙටුවෙකුගේ හෝ, ඉදින් සමූහයාට අධිපති ගම් ප්‍රධානියෙකුගේ හෝ යි. යම් කෙනෙක් හෝ කුලයන්හි වෙන් වෙන්ව අධිපති බව කරවද්ද, වැඩීමට කැමති විය යුත්තීය. පිරිහීම් නොකැමැති විය යුතුයි. කවර පසක්ද යත්?

’’මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින්

’’මව්පියන්ට සත්කාර කෙරේද,

’’ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද,

’’මව්පියෝ, ඔහුට යහපත් සිතින්, ’බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂයක් රක්‍ෂා කරව’ යිද අනුග්‍රහ කෙරෙත්. මහානාමය, මව්පියන්ගේ අනුග්‍රහ ඇත්තාවූ කුලපුත්‍රයාගේ වැඩීමම කැමැති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.

’’නැවත අනිකක්ද කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් අඹුදරුවන් හා දැසි දස් කම්කරු පුරුෂයන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, අඹුදරු දැසි දස් කම්කරු පුරුෂයෝ, ඔහුට යහපත්වූ සිතින්, ’බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂයක් පාලනය කරව’ යි අනුග්‍රහ කරත්. මහානාමය, අඹුදරු දැසි දස් කම්කරු පුරුෂයන් විසින් අනුකම්පා කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමට කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.

’’මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් තමන්ගේ කුඹුරු කර්‍මාන්තවලට අනතුරු ඉඩම් හිමියන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, තමන්ගේ කුඹුරු කර්‍මාන්තයට සමීප ඉඩම් මනින විකුණන හිමියෝ ඔහුට යහපත් සිතින්, ’බොහෝ කල් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි අනුග්‍රහ කරවත්. මහානාමය, තමන්ගේ කුඹුරු කර්‍මාන්තයට සමීප ඉඩම් මනින විකුණන්නවුන් විසින් අනුකම්පා කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.

’’නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවි කෙනෙක් වෙද්ද, ඔවුන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, පූජා පිළිගන්නාවූ දෙවියෝ යහපත් සිතින්, ’බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි ඔහුට අනුග්‍රහ කෙරෙත්. මහානාමය, දේවතාවන් විසින් අනුග්‍රහ කරණ ලද කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයි.

’’නැවතද අනිකක් කියමි. මහානාමය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීම් ඇති, ධාර්මිකවූ, දැහැමින් ලබන ලද්දාවූ, නැගී සිට උත්සාහයෙන් ලබන ලද සම්පත් වලින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සත්කාර කෙරේද, ගරු කෙරේද, බුහුමන් කෙරේද, පුදාද, සත්කාර කරණ ලද, ගරු කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඔහුට යහපත් සිතින්, ’බොහෝ කලක් ජීවත් වෙව. දීර්‍ඝායුෂය පාලනය කරව’ යි අනුග්‍රහ කෙරෙත්. මහානාමය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අනුකම්පා කරණ ලද්දාවූ කුලපුත්‍රයාගේ වැඩීමම කැමති විය යුතුයි, පිරිහීම නොකැමැති විය යුතුයයි.

’’මහානාමය, යම් කිසි කුල පුත්‍රයෙකුගේ ධර්‍ම පසක් විද්‍යමාන වෙද්ද, ඉදින් මස්තකයෙහි අභිෂෙක කරණ ලද ක්‍ෂත්‍රියවූ රජෙකුගේ හෝ, ඉදින් පියා විසින් දෙන ලද රට අනුභව කරන්නෙකුගේ හෝ, ඉදින් සේනාවට අධිපතිවූ සෙනෙවියෙකුගේ හෝ, ඉදින් ගමට අධිපති ගම් දෙටුවෙකුගේ හෝ, ඉදින් සමූහයාට අධිපති ගම් ප්‍රධානියෙකුගේ හෝ යි. යම් කෙනෙක් හෝ කුලයන්හි වෙන් වෙන්ව අධිපති බව කරවද්ද, වැඩීමට කැමති විය යුත්තීය. පිරිහීම් නොකැමැති විය යුතුයි.

(1) ’’හැම කල්හි මව්පියන්ගේ කටයුතු කරන්නාවූ, අඹුදරුවන්ට හිතවූ, කුලපුත්‍ර තෙම, ඇතුළත ජනයාටද, මොහුට අනුව ජීවත් වන්නාවූ යම් කෙනෙක් වෙත් නම් ඔවුන්ටද වැඩ පිණිස පිළිපදියි.

(2) ’’වචන දන්නාවූ, සිල්වත්වූ හෙතෙම පෙර පරලොව ගියාවූ නෑයන්ටද, මෙලොව ජීවත් වන්නවුන්ටද, යන දෙගොල්ලන්ටම වැඩ පිණිස පිළිපන්නේ වෙයි.

(3) ’’දැහැමින් ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙම ශුමණ බ්‍රාහ්මණයන්ටද, දෙවතාවන්ටද සතුට උපදවන්නේ වෙයි.

(4) ’’හෙතෙම යහපත්කොට පිදිය යුත්තෙක්, පැසසිය යුත්තෙක් වේ. මෙලොවදීම ඔහුට ප්‍රශංසා කරත්. පරලොව ස්වර්‍ගයෙහිද සතුටු වේය’’ යි වදාළ සේක.