අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

7. සීලවන්තත්‍ථෙර සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

’’කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්‍රාතිමොක්‍ෂ සංවරයෙන් යුක්තවූයේ වේද,

’’ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද,

’’ශික්‍ෂාපදයන්හි සමාදන්ව හික්මේද,

’’බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද,

’’මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්‍ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්‍ණවූ. පිරිසිදුවූ බ්‍රහ්මවර්‍ය්‍යාව ප්‍රකාශ කරද්ද, එබඳු ධර්‍මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද,

’’යහපත් වචන ඇත්තේ, යහපත් කථා කිරීම ඇත්තේ වේද, මනොඥවූ, කෙලතොලුනුවූ, අර්ත්‍ථය හැඟවීම ඇත්තාවූ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, කුශල් සිත සම්බන්‍ධවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, චතුර්විධ ධ්‍යානයන්ගේ කැමති පරිදි ලැබීම ඇත්තෙක්, නිදුකින් ලැබීම ඇත්තෙක්, පහසුවෙන් ලැබීම ඇත්තෙක් වේද, ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්‍රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කෙරේද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.