අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

8. අත්තකාර පරකාර සූත්‍රය

ඉක්බිති නාම ගොත්‍ර වශයෙන් අප්‍රසිද්‍ධ බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග (කථාවෙන්) සතුටුවූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි තමාගේ වැඩ කරන්නෙක් නැත. අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි. මෙසේ කියන්නෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි’’ යි කීයේය.

’’මෙසේ කියන්නාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ බමුණකු නොදුටුයෙමි. නොඇසුයෙමි. තෙමේ ඉදිරියට යද්දී, තෙමේ ආපසු එද්දී, තමාගේ වැඩ කරන්නෙක් නැත, අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි කෙසේ නම් මෙසේ කියයිද, බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? ප්‍රථමාරම්භ වීර්‍ය්‍යයක් ඇත්තේද ?’’ ’’පින්වතුන් වහන්ස, එසේය.’’

’’පටන්ගත් වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් දකින්ට ලැබෙත්දැ’’ යි ඇසීය. ’’පින්වත, එසේය’’

’’බමුණ, යම් හෙයකින් පටන්ගත් වීර්‍ය්‍ය ඇති කල්හි වෑයම ඇති පුරුෂයන් පෙනෙත්ද, ඒ තෙමේ සත්ත්‍වයන් අතර තමාගේ වැඩ කරන්නෙකි. අනුන්ගේ වැඩ කරන්නෙකි.

’’බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? පටන්ගත් වීර්‍ය්‍යයට වඩා යම් වීර්‍ය්‍යයෙන්ම නික්ම වෙන ස්වභාවයක් ඇද්ද ? එසේය, පින්වත.’’

’’නික්මෙන ස්වභාවයක් ඇති කල්හි නික්මෙන සත්ත්‍වයෝ පෙනෙත්ද ?’’ ’’එසේය, ස්වාමීනි.’’ ’’බමුණ යම් හෙයකින් නික්මෙන ස්වභාවයක් ඇති කල්හි නික්මෙන සත්ත්‍වයෝ පෙනෙද්ද, මේ තෙමේ සත්ත්‍වයන් අතර තමාගේ වැඩ කරන්නෙකි. අනුන්ගේ වැඩ කරන්නෙකි.

’’ බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? සොයන වීර්‍ය්‍යයට වඩා යම් වීර්‍ය්‍යයෙන්ම නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.’’

’’ බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? බලවත් වීර්‍ය්‍යයට වඩා යම් වීර්‍ය්‍යයෙන්ම නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.’’

’’ බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? ස්ථිර වීර්‍ය්‍යයෙන් නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.’’

’’ බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? උපක්‍රම ස්වභාවයට වඩා යම් ඒ වීර්‍ය්‍යයෙන්ම නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.’’

’’මම මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටියක් ඇත්තාවූ බමුණකු නොදුටුවෙමි. නොඇසුවෙමි. කෙසේ නම් තෙමේ ඉදිරියට යන්නේද, ආපසු එන්නේද, කෙසේ බොහෝ වැඩ කරන්නෙක්ද නැත්තේයයි කෙසේ කියන්නේද ?

’’ භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’