අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

7. නන්‍දමාතු දක්ඛිණ සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජාකළ ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි වෙළුකණඨකී නන්‍ද මාතා උපාසිකාව සැරියුත් මුගලන් ප්‍රධාන භික්‍ෂු සංඝයා කෙරෙහි අඞ්ග සයකින් යුත් දනක් දෙයි. භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිදුවූ දිවැසින් වෙළුකණඨකී නන්‍ද මාතාව සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන භික්‍ෂු සංඝයාට අඞ්ග සයකින් යුත් දනක් දෙන්නීය දුටු සේක. දැක භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.

’’මහණෙනි, මේ වෙළුකණඨකී නන්‍ද මාතාවවූ උපාසිකා තොමෝ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන භික්‍ෂු සංඝයා කෙරෙහි අඞ්ග සයකින් යුත් දනක් දෙයි. මහණෙනි, දානය කෙසේ නම් අඞ්ග සයකින් යුක්ත වේද ? මහණෙනි, මේ ශාසනයෙහි දායකයාට අඞ්ග තුනක් වෙත්. ප්‍රතිග්‍රාහකයන්ට අඞ්ග තුනක් වෙත්. දායකයාගේ අඞ්ග තුන කවරේද ?

’’මහණෙනි, මේ ශාසනයෙහි දායක තෙම දන් දීමට පූර්‍වයෙන් සතුටු සිත් ඇත්තේ වේද, දෙමින් සිත පහදවයිද, දී සතුටු සිත් ඇත්තේ වේද, මේ දායකයාගේ අඞ්ග තුනයි. ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුන කවරේද ? මහණෙනි, මේ ශාසනයෙහි ප්‍රතිග්‍රාහකතෙම පහකළ රාග ඇත්තේ හෝ වෙත්ද, රාගය පහකිරීම පිණිස පටන් ගත්තාහු හෝ වෙත්ද, පහකළ ද්වේෂ ඇත්තෝ හෝ වෙත්ද, ද්වේෂය පහකිරීම පිණිස පටන් ගත්තාහු හෝ වෙත්ද, පහකළ මුළාව ඇත්තාහු වෙත්ද, මුළාව පහකිරීම පිණිස පිළිපන්නාහු වෙත්ද, මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුන වෙත්. මේ දායකයාගේ අඞ්ග තුනද, ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුනද වෙත්. මහණෙනි, මෙසේ වනාහි දානය අඞ්ග සයකින් යුක්ත වේ.

’’මහණෙනි, මෙසේ අඞ්ග හයකින් යුත් දානයාගේ මෙලොව සැප ගෙන දෙන, මතු සැප පිණිස පවතින, සැප විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවතින, මෙපමණ පින් රැස්වීමක්, මෙපමණ කුසල් රැස්වීමක්, යහපත් බවට, කාන්ත බවට, මන මැඩීමට හිත පිණිස, සැප පිණිස පවතිත්යයි පිනේ ප්‍රමාණයක් කිරීමට පහසු නොවේ. තවද, ගණන්කළ නොහැකි, ප්‍රමාණකළ නොහැකි මහත් පින් රාශියකැයි ගණනට යයි.

’’මහණෙනි, යම්සේ මහා සමුද්‍රයෙහි මෙපමණ දිය ලාස් ගණනකැයි කියාද, මෙපමණ දිය ලාස් සියයකැයිද, මෙපමණ දිය ලාස් දහසකැයිද, මෙපමණ දිය ලාස් ලක්‍ෂයකැයිද, දියෙහි ප්‍රමාණයක් කිරීමට නොහැකි වේ. තවද, ගණන් කළ නොහැකි, ප්‍රමාණ කළ නොහැකි මහ දිය රාශියකැයි ගණනට යයි. මහණෙනි, එසේම මෙසේ අඞ්ග සයකින් යුත් දානයාගේ මෙලොව සැප ගෙන දෙන, මතු සැප පිණිස පවතින සැප විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවතින මෙපමණ පින් රැස්වීමක්, මෙපමණ කුසල් රැස්වීමක්, යහපත් බවට, කාන්ත බවට, මන වැඩීමට හිත පිණිස, සැප පිණිස පවතිත්යයි පිනේ ප්‍රමාණයක් කිරීමට පහසු නොවේ. තවද, ගණන්කළ නොහැකි, ප්‍රමාණ කළ නොහැකි මහත් පින් රාශියකැයි ගණනට යාය’’ යි. වදාළ සේක.

’’දීමෙන් පූර්‍වයෙහිම සතුටු සිත් ඇත්තේද, දෙන්නේ සිත පහදවන්නේද, දී සතුටු සිත් ඇතිවේද, මෝ තොමෝ යාග සංඛ්‍යාත දානයාගේ පරිපූර්‍ණතා වන්නීය.

’’පහවූ රාගය ඇති, පහවූ ද්වේෂය ඇති, පහවූ මොහය ඇති, ආශ්‍රව රහිතවූ, ශීලයෙන් සංයතවූ බ්‍රහ්මචාරීහු යාග සංඛ්‍යාත දානයට සම්පූර්‍ණවූ ක්‍ෂෙත්‍රය වෙත්.

’’පිදියයුතු හෙයින් යාගයයි කියනලද මේ පරිත්‍යාගය තෙම තමා කෙරෙන්ද, අනුන් කෙරෙන්ද, මහත්ඵල වෙයි. තමා විසින්ම අත් පා ධොවනය කොට දී, ස්වහස්තයෙන් මෙසේ ධාරණ ප්‍රඥා ඇති, රත්නත්‍රයෙහි ගුණ අදහන්නාවූ පණ්ඩිත තෙම ලාභ මාත්සර්‍ය්‍යාදියෙන් මිදුන සිතින් පුදා නිදුක්වූ, මහත් සැප සොම්නස් ඇති දිව්‍යලෝකයේ උපදින්නේය.