අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

12. (නාගිත) යසසමාගම සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නේ ඉච්ඡානඞ්ගල නම් කොසොල් රටවාසීන්ගේ බමුණුගමක් වේද, එහි වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කරණ සේක.

’’ ඉච්ඡානඞ්ගල වාසී බමුණු ගෘහපතියෝ ශාක්‍යපුත්‍රවූ, ශාක්‍ය තුලයෙන් මහණවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩියේ ඉච්ඡානඞ්ගල ගමෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කෙරෙත්යයි ඇසුවාහුය. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ යහපත් කීර්ති රාවයක් පැන නැංගේය. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, රහතන්ගේ දැක්ම සුදුසු වන්නේය කියායි.

ඉක්බිති ඉච්ඡානඞ්ගලිකවූ බමුණු ගැහැවියෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් බොහෝ කෑ යුතු, බුදිය යුතු දෑ රැගෙන ඉච්ඡානඞ්ගල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, උස් හඬ, මහ හඬ ඇතිව දොරටුවෙන් පිට පියස්ස යට සිටියාහුය. ඒ කාලයෙහි ආයුෂ්මත් නාගිත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයා විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන්ට, ’’නාගිතය, මසුන් අල්ලන කේවට්ටයින්ගේ වැනි ඒ උස් හඬ, මහ හඬ කුමක්දැ’’ යි ඇසූ සේක.

’’ස්වාමීනි, මේ ඉච්ඡානඞ්ගලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේටද, භික්‍ෂු සංඝයාටද, බොහෝ අනුභව කළ යුතු, බුදිය යුතු දේ රැගෙන දොරටුවෙන් පිට පියස්ස යට සිටියාහුය.’’

’’නාගිතය, යසස සමග මම එක්වීමක් නැත. මා සමග යසස එක්වන්නේත් නැත. නාගිතය, යම් කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සැපය, උසස් විවේක සැපය, සන්සුන් සැපය, නිවන් සැපය, පහසුවෙන් නොලබන්නේද, නිදුකින් නොලබන්නේද, මම ඒ යම් නෛෂ්ක්‍රම්‍ය සැපයක්, උසස් විවේක සැපයක්, සන්සුන් සැපයක්, නිවන් සැපයක් පහසුවෙන් ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. හෙතෙම ඒ (ලෝකයා විසින් දෙන) අපවිත්‍ර, නිදිබර ලාභ සත්කාර කීර්ති සැපය ඉවසන්නේය’’ යි වදාළ සේක.

’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් යමකින් යමකින්ම කල්ගත කරන්නේද, බමුණු ගෘහපතියෝද, නියම්ගම් දනවු වැස්සෝද ඊට නැමුනාහු වෙත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඉවසාවා. සුගතයන් වහන්සේ ඉවසාවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට දැන් පිළිගැනීමට කල්ය.

’ස්වාමීනි, යම් සේ ලොකු වැසි බින්දු ඇති වර්ෂාව වසින කල්හි බෑවුම අනුව ජලය යත්ද, ස්වාමීනි, එසේම යමකින් යමකින්ම භාග්‍යවතුන් වහන්සේ යැපෙයිද. බමුණු ගෘහපතියෝද, නියම්ගම් දනවු වැස්සෝද ඊට නැමුනාහුම වෙත්. ඊට හේතු කවරේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීලයෙන් ප්‍රකටවීම එසේමය. නාගිතය, යසස සමග මම එක්වීමක් නැත මා සමග යසස එක්වන්නෙත් නැත. නාගිතය, යම් කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සැපය, උසස් විවේක සැපය, සන්සුන් සැපය, නිවන් සැපය පහසුවෙන් නොලබන්නේද, දුකින් ලබන්නේද, මම ඒ යම් නෛෂ්ක්‍රම්‍ය සැපයක්, උසස් විවේක සැපයක්, සන්සුන් සැපයක්, නිවන් සැපයක් පහසුවෙන් ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. හෙතෙම ඒ (ලෝකය විසින් දෙන) අපවිත්‍ර. නිදිබර ලාභ සත්කාර කීර්ති සැපය ඉවසන්නේය’’ යි වදාළ සේක. නාගිතය, මම ගමෙහි වාසය කරණ සමාධිගත සිත් ඇතිව සිටින භික්‍ෂුවක් දකිමි. නාගිතය, දැන් මේ ආයුෂ්මතුන් ආරාමයෙහි සිටින්නෙක් හෝ සාමණේර නමක් හෝ නැගිටුවන්නේය. ඒ සමාධියෙන් ඔහු මුදවන්නේයයි ඒ මට මෙසේ සිතක් වෙයි. නාගිතය, ඒ කාරණයෙන් මම ඒ භික්‍ෂුවගේ අරණ්‍යවාසය කැමති නොවෙමි.

’’නාගිතය, අරණ්‍යවාසීවූ, අරණ්‍යයෙහි නිදීමෙන් සිටි භික්‍ෂුවක් දකිමි. නාගිතය, දැන් මේ ආයුෂ්මත් තෙමේ, ’මේ නිදි ක්ලාන්ත ගතිය දුරුකොට අරණ්‍යය යන හැඟීමම, එකඟ බවම මෙනෙහි කරන්නේය’ යි ඒ මට මේ සිත වේ. නාගිතය, ඒ කාරණයෙන් ඒ මහණහට අරණ්‍යයෙහි වාසයෙන් සතුටුවෙමි. නාගිතය, මම මේ ලොවෙහි අරණ්‍යවාසීවූ, අරණ්‍ය යෙහි සිත එකඟනොව සිටියාවූ භික්‍ෂුවක් දකිමි. නාගිතය, ’ඒ මට දැන් මේ ආයුෂ්මත්තෙමේ එකඟනොවූ සිත එකඟ කරන්නේය. එකඟවූ සිත ආරක්‍ෂා කරන්නේය’ යි මෙසේ සිතක් වෙයි. නාගිතය, ඒ කරණකොට ගෙන මම ඒ මහණහට අරණ්‍යයෙහි විසීමෙන් සතුටුවෙමි. නාගිතය, මෙහි මම අරණ්‍යවාසීවූ, අරණ්‍යයෙහි සිත එකඟකර සිටි භික්‍ෂුවක් දකිමි. නාගිතය, දැන් මේ ආයුෂ්මත් තෙමේ, ’කෙලෙසුන්ගෙන් නොමිදුනු සිත, කෙලෙසුන්ගෙන් මුදන්නේය. මිදුනු සිත රකින්නේය’ යි මෙබඳු සිතක් වෙයි. නාගිතය, ඒ කරණකොටගෙන මම ඒ භික්‍ෂුවගේ අරණ්‍ය වාසයෙන් සතුටුවෙමි.

’’නාගිතය, මම මෙහි ගමෙහි වාසයකරණ, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩු ලබන්නාවූ භික්‍ෂුවක් දකිමි. හෙතෙම ඒ ලාභ, සත්කාර, කීර්ති, බලාපොරොත්තුවෙමින් විවේකය අත්හරියි. අරණ්‍යයෙහි වනයෙහිවූ ඈත සෙනසුන් අත්හරියි. ගම් නියම්ගම් රාජධානිවලට බැස වාසය කරයි. නාගිතය, මම ඒ භික්‍ෂුවගේ ගමෙහි වාසය කිරීමෙන් සතුටු නොවෙමි. නාගිතය, මෙහි අරණ්‍යයෙහිවූ, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩු ලබන්නාවූ භික්‍ෂුවක් දකිමි. හෙතෙම ඒ ලාභ, සත්කාර, කීර්තියට, සතුටුවී විවේකය අත් නොහරියි. අරණ්‍යයෙහි (වනයෙහි) පිහිටි ඈත සෙනසුන් අත් නොහරියි. නාගිතය, ඒ හේතුවෙන් මම ඒ භික්‍ෂුවගේ අරණ්‍යයෙහි විසීමෙන් සතුටුවෙමි. නාගිතය, යම් කාලයෙක්හි මම දීර්‍ඝ මාර්‍ගයට බැස්සේ ඉදිරිපිටින් හෝ පසුපසින් හෝ කිසිවෙකු නොදක්නේ නම් නාගිතය, ඒ කාලයෙහි මට යටත් පිරිසෙයින් මළ මූත්‍ර පහ කිරීමට පවා පහසුය’’ යි වදාළ සේක.

සතරවෙනි දේවතා වර්‍ගය නිමි.