අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
8. අරහන්ත වර්‍ගය
10. රත්තිත්‍දිව හානිවුද්‍ධි සූත්‍රය
’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි හානිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. වැඩීම පිණිස නොවේ.
’’කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම වනාහි හිරිහැර ඇත්තේ, නොසතුටු වූයේ, අන්‍යවූත්, අන්‍යවූත් සිවුරු - ආහාර - සෙනසුන් - ගිලන්පස - බෙහෙත් පිරිකරවලින් විෂම කැමැත්ත ඇත්තේ වේද, සැදැහැ නැත්තේ වේද, දුශ්ශීල වූයේ වේද, කුශීතවූයේද. සිහි මුළා ඇත්තේද . අනුවණද (යනුය.) මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි හානිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. වැඩීම පිණිස නොවේ.
’’ මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි වැඩීම පිණිසම කැමැති විය යුතුය. හානිය පිණිසම නොවේ.
’’කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම හිරිහැර නැත්තේ, සතුටු වූයේ, අන්‍යවූත්, අන්‍යවූත් සිවුරු - ආහාර - සෙනසුන් - ගිලන්පස - බෙහෙත් පිරිකරවලින් විෂම කැමැත්ත ඇත්තේ නොවේද, සැදැහැවත් වේද, සිත්වත්ද, පටන්ගත් වීර්ය ඇත්තේද, සිහිමත්ද, නැණවත්ද (යනුය.)මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි වැඩීම පිණිසම කැමැති විය යුතුය. හානිය පිණිසම නොවේ.
අටවැනි අරහන්ත වර්‍ගය නිමි.