අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. සති වර්‍ගය

7. පත්තනික්කුජ්ජන සූත්‍රය

’’මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය (නිග්‍රහ සඳහා) නමන්නේය.

’’කවර අටකින්ද යත්? භික්‍ෂූන්ට අලාභ පිණිස තැත් කෙරේද, භික්‍ෂූන්ට අවැඩ පිණිස තැත් කෙරේද, භික්‍ෂූන්ට තැන් නැති කිරීමට තැත් කෙරේද, භික්‍ෂූන්ට නිත්‍දා පරිභව කෙරේද. භික්‍ෂූන් භික්‍ෂූන් හා බිඳවාද, බුදුන්ට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය (නිග්‍රහ සඳහා) නමන්නේය.

’’මහණෙනි, අංග අටෙකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය උඩුකුරු කරන්නේය.

’’කවර අටෙකින්ද යත්? භික්‍ෂූන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, භික්‍ෂූන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, භික්‍ෂූන්ට තැන් නැති කිරීමට තැත් නොකෙරේද, භික්‍ෂූන්ට නිත්‍දා පරිභව නොකෙරේද. භික්‍ෂූන් භික්‍ෂූන් හා නොබිඳුවාද, බුදුන් ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, මහණෙනි, අංග අටකින් යුත් උපාසකයාට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් පාත්‍රය උඩුකුරු කරන්නේය.’’