අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. සති වර්‍ගය
8. අප්පසාදවෙදන සූත්‍රය
’’මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්‍රසාදය පළ කරන්නෝය.
’’කවර අටකින්ද යත්? ගිහියන්ට අලාභය පිණිස තැත් කෙරේද, ගිහින්ට අවැඩ පිණිස තැත් කෙරේද, ගිහිනට නින්‍දා පරිභව කෙරේද, ගිහින් ගිහියන් හා භෙද කෙරේද, බුදුනට නුගුණ කියාද, ධර්මයට නුගුණ කියාද, සංඝයාට නුගුණ කියාද, නොතන්හි ඔහු දකිත්ද (යනුය.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තේ නම් අප්‍රසාදය පළ කරන්නෝය.
’’මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්‍රසාදය පළ කරන්නෝය.
’’කවර කරුණු අටකින්ද යත්? ගිහියන්ට අලාභ පිණිස තැත් නොකෙරේද, ගිහියන්ට අවැඩ පිණිස තැත් නොකෙරේද, ගිහියනට නින්‍දා පරිභව නොකෙරේද, ගිහියන් ගිහියන් හා භෙද නොකෙරේද, බුදුන්ට ගුණ කියාද, ධර්මයට ගුණ කියාද, සංඝයාට ගුණ කියාද, සුදුසු තැනදී ඔහු දකීද, (යනුයි.) මහණෙනි, කරුණු අටකින් යුත් භික්‍ෂුවට උපාසකවරු කැමැත්තෝ නම් ප්‍රසාදය පළ කරන්නෝය.