ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

2. දුක නිපාතය

1. සංවෙජනීය වර්ගය

4. අතපනීය ධම්ම සූත්‍රය

“මහණෙනි, පසුතැවිලි නොවිය යුතුවූ මේ ධර්මදෙකක් වෙත්, කවර දෙකක්ද යත්?

“මහණෙනි, මේ ලොකයෙහි සමහර පුද්ගලයෙක් තෙම කරන ලද යහපත ඇත්තේ වේද, කරනලද කුසල් ඇත්තේ වේද, කරන ලද රක්ෂා ස්ථාන ඇත්තේ වේද, නොකරන ලද පව් ඇත්තේ වේද, නොකරන ලද රෞද්‍ර ක්‍රියා ඇත්තේ වේද, නොකරන ලද දුශ්චරිත ඇත්තේ වේද, ඒ පුද්ගල තෙමේ මා විසින් කුසල් කරන ලද්දේයයිද පසුතැවිලි නොවෙයි. මා විසින් පව් නොකරන ලද්දේයයිද පසුතැවිලි නොවෙයි. මහණෙනි, මේ වනාහි පසුතැවිලි නොවිය යුතු කරුණු දෙක වෙත් යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“කයින් (කටයුතු) දුශ්චරිතයද වාක් දුශ්චරිතයන්ද මනො දුශ්චරිතයන්ද හැර දොෂයයි දන්නා ලද අන්‍යවූ යම් (කර්ම පථභාවයට නො පැමිණි පිනක් වේද (එයද) හැර අකුශල කර්මයක් නොකොට බොහෝ කුසල් කොට සප්‍රාඥවූ ඒ පුද්ගල තෙම ශරීරයාගේ බිඳීමෙන් (මරණයෙන් මතු) ස්වර්ගයෙහි උපදීයයි.’