ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
1. මාරධෙය්‍ය වර්ගය
2. ධාතුත්තය සූත්‍රය
“මහණෙනි, මේ ධාතු තුනක් වෙත්. කවර තුනක්ද යත්? රූප ධාතුවය (රූපභවය) අරූප ධාතුවය (අරූපභවය) නිරොධ ධාතුවය (නිර්වාණය) යන තුන වෙත්. මහණෙනි, මේ වනාහි තුන් ධාතුහු වෙත්යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි (ගාථාවෙන්) මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් කෙනෙක් රූපය පිළිබඳ ධර්මප්‍රවෘත්තිය දැන අරූපාවචර ධර්මයන්හි නොපිහිටියාහු වෙද්ද, යම් කෙනෙක් නිවණෙහි මිදෙද්ද, ඒ රහතුන් වහන්සේ මරණය ඉක්මවූවාහු වෙති.
“ආශ්‍රවයන් නැත්තාවූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ නාම කයින් ස්කන්ධාදී උපාධිරහිතවූ (නැවත ඉපදීමට හේතුවන දේ නැති) නිර්වාණ ධාතුවට පැමිණ (ඒ ස්කන්ධාදී සියලු උපධීන්ගේ දුරලීමට කරුණු ප්‍රත්‍යක්ෂ කොට ශොක නැත්තාවූ කෙලෙස් නැත්තාවූ නිර්වාණ පදය දෙසූසේකැයි”