ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

2. පුණ්‍යක්‍රියා වර්ගය

5. දුච්චරිතත්තය සූත්‍රය

“මහණෙනි, මේ අයහපත්වූ හෝ දුෂ්ටවූ හෝ හැසිරීම් තුණෙකි. කවර තුණෙක්ද යත්? කයින් වැරදි හැසිරීමය, වචනයෙන් වැරදි හැසිරීමය, සිතින් වැරදි හැසිරීමය (යන තුණය.) මහණෙනි, මේ වනාහි තුන් දුසිරිතියි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

(“යම්) මෝඩයෙක් වේද, හෙතෙම කයින් දුශ්චරිත (පව්) ද වචයෙන් පව්ද සිතින් පව්ද කොට දෝෂ යයි දක්නා ලද්දාවූ යම් අන්‍යවූ වරදෙක් (ඇද්ද) එයද කොට කුශල කර්ම නොකොට බොහෝ අකුශල් කොට ශරීරයාගේ බිඳීමෙන් නරකයෙහි උපදී.”