ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

2. පුණ්‍යක්‍රියා වර්ගය

4. අද්ධා සූත්‍රය

“මහණෙනි, මේ කාල තුණෙක් වෙත්. කවර තුණෙක්ද යත්? අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් කාලයෝ වෙත් යයි.”

මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“සත්වයෝ අක්ඛෙය්‍ය නම්වූ පඤ්චස්කන්ධය කෙරෙහි සංඥා ඇත්තෝ වෙත්. පඤ්චොපාදානස්කන්ධයෙහි පිහිටියාහුය. පඤ්චොපාදානස්කන්ධය ත්‍රිවිධ දැනීමෙන් නොදැන මාරයාගේ උපායට පැමිණෙති.

“පඤ්චොපාදානස්කන්ධයද (විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දැනීමෙන් ආත්මයක් නොමදනී. විමොක්ෂ යයිද සන්තිපදයයිද උතුම් නිර්වාණ ධර්මය සිතින් ස්පර්ශ කෙළේ පැමිණියේ වෙයි. ආර්ය මාර්ගය තෙමේ විමොක්ෂ නම් වෙයි. (ඒ ක්ෂීණාශ්‍රවයා විසින් මාර්ග සිතින් නිරුත්තරවූ නිර්වාණ පදය ප්‍රත්‍යක්ෂ කරණ ලද්දේවේ.

ඒකාන්තයෙන් පඤ්චොපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීමෙන් උපන් සම්පත්තීන් යුක්තවූ කෙලෙස් සන්සිඳුනාවූ ශාන්තිපද නම්වූ නිවනෙහි ඇලුනාවූ නුවණින් සලකා සේවනය කරන දැන සෙවනය කරන (අශෛක්ෂ ධර්මයන්හි පිහිටියාවූ සිටියාවූ පරතෙරට ගියාවූ ඒ රහත්තෙම ගණනට නොපැමිණේයයි.”