ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
2. පුණ්‍යක්‍රියා වර්ගය
3. ඉන්ද්‍රිය සූත්‍රය
“මහණෙනි, මේ (අධිපති අර්ථයෙන්) ඉන්ද්‍රියයෝ තුන්දෙනෙක් වෙත්. කවර තුනෙක්ද යත්? අනඤ්ඤාතඤ්ඤාස්සාවින්ද්‍රිය නම්වූ සොතාපත්ති මාර්ග ප්‍රඥාව හෝ ඉන්ද්‍රියය, අඤ්ඤීන්ද්‍රිය නම්වූ සොතාපත්ති ඵලඤාණයෙහි පටන් අර්හත්මාර්ගඥානය තෙක් සය තන්හිවූ ඤාණය, අඤ්ඤාතාවින්ද්‍රිය නම්වූ අර්හත්ඵල ප්‍රඥාවය (යන තුනය) මහණෙනි, මේ වනාහි තුන් ඉන්ද්‍රියයෝ වෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සෘජු මාර්ගයවූ ආර්ය මාර්ගයට පිළිවෙලින් පැමිණෙන්නාවූ හැම කෙලෙස් පහකරන බැවින් ක්ෂය නම් අග්‍රමාර්ගයෙහි නුවණ පළමුව (උපදී) ඒ පළමු මාර්ගයට අනතුරුව අර්හත්ත්වය අනුව යන්නාහට ගොත්‍රභූඥානයට අනතුරුව සොතාපත්ති මාර්ගයෙහි පළමු ඥානයවූ අනඤ්ඤාතඤ්ඤස්සාවීන්ද්‍රියය (උපදී) ඒ පළමු ඥානයට අනතුරුව පටන් අග්‍රමාර්ගයතෙක් අන්‍යවූ අඤ්ඤීන්ද්‍රියය (උපදී.)
“ඒ අඤ්ඤීන්ද්‍රියයෙන් පසුව අඤ්ඤතාවීන්ද්‍රියයෙන් මිදුනාවූ එකසමානවූ ක්ෂීණාශ්‍රවයාහට භවසංයෝජනයන් ක්ෂයකිරීම හෙතුකොට මාගේ විමුක්ති තොමෝ කොප්‍ය නොවන්නීය. (නොනැසෙන්නී) යයි ප්‍රත්‍යවෙක්ෂා ඥානය වේ.
“ඉදින් ඉඳුරන්ගෙන් සම්පූර්ණවූ පඤ්චෙන්ද්‍රියයෙන් යුක්තවූ සන්සිඳුනු නිර්වාණපදයෙහි ඇලුනාවූ ක්ෂීණාශ්‍රවතෙමේ සේනා සහිත මාරයා ජයගෙන අන්තිම ශරීරය දරායයි.”