සංයුත්තනිකායො

නිදාන වර්ගය

2. අභිසමය සංයුත්තය

11. පබ්බතූපමා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ වනාහි පුරුෂයෙක් මහාමේරු පර්වත රාජයාගේ සමීපයෙහි මුංඇට හතක් පමණවූ, ගල්කැට එක් තැනක තබන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හතක් පමණවූ, යම් ගල්කැට වේද, යම් මහාමේරු පර්වතරාජයෙක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා විශාල වේද?”

“ස්වාමීනි, යම් මේ මහාමේරු පර්වත රාජයෙක් වේද, එයම ඉතා විශාල වේ. එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හතක් පමණවූ, ගල්කැට ඉතා ස්වල්ප බවට පැමිණෙයි. එක් තැනක තබන ලද්දාවූ, මුංඇට හත පමණවූ ගල්කැට, මහාමේරු පර්වතරාජයා හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්‍ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, ආර්ය ශ්‍රාවක පුද්ගලයාගේ ධර්මාවබෝධය හා සමග සැසැඳීමේදී (බුද්ධශාසනයෙන්) අන්‍යවූ, තීර්ථක, ශ්‍රමණ, බ්‍රහ්මණ, පරිබ්‍රාජකයින්ගේ ධර්මාවබෝධය සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගලතෙම මහත්වූ නුවණ ඇත්තේය.”

(එකොළොස්වෙනි පබ්බතූපමා සූත්‍රය නිමි.)

අභිසමය සංයුත්තය නිමි.

නඛසිඛා සූත්‍රයද, පොක්ඛරණී සූත්‍රය සහ සම්භෙජ්ජ උදක සූත්‍ර දෙකද, පඨවි සූත්‍ර දෙකද, සමුද්ද සූත්‍ර දෙකද, පබ්බතූපමා සූත්‍ර තුනදැයි මේ අභිසමය සංයුක්තයෙහි සූත්‍ර එකොළොසකි.