සංයුත්තනිකායො
නිදාන වර්ගය
2. අභිසමය සංයුත්තය
6. පඨවි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම්සේ වනාහි ඩෙබර ඇට හතක් පමණවූ මැටි ගුළිය හැර මේ මහ පොළොව ක්ෂයවීමට නැතිවීමට යන්නේවේද, මහණෙනි, ඒ ගැන කෙසේ සිතන්නහුද? ක්ෂයවූ විනාශවූ, යම් මහ පොළොවෙක් වේද, ඉතිරිවූ, ඩෙබර ඇට හතක් පමණවූ, යම් මැටි ගුළියක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධික වේද?” “ස්වාමීනි, ක්ෂයවූ, විනාශවූ, යම් මහ පොළොවක් වේද, එයම ඉතා අධිකවේ. ඉතිරිවූ ඩෙබර ඇට හතක් පමණවූ, මැටි ගුළිය ඉතා ස්වල්පවේ. ඉතිරිවූ, ඩෙබර ඇට හත පමණවූ, මැටි ගුළිය ක්ෂයවූ, විනාශවූ, මහ පොළොව හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක් සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත් අර්ථ ඇත්තේය.”
(හයවෙනි පඨවි සූත්‍රය නිමි.)