සංයුත්තනිකායො

නිදාන වර්ගය

2. අභිසමය සංයුත්තය

7. සමුද්ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහ මුහුදින් දියබිඳු දෙකක් හෝ තුනක් හෝ ගන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? මහ මුහුදින් ගන්නා ලද යම් දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මහ මුහුදෙහිවූ යම් දියක් වේද, මේ දෙකින් කවරක් වනාහි ඉතා අධික වේද?”

“ස්වාමීනි, මහ මුහුදෙහිවූ යම් මේ දියක් වේද, එයම ඉතා අධික වේ. ගන්නාලද දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වේ. ගන්නාලද, දියබිඳු දෙක හෝ තුන හෝ මහ මුහුදෙහිවූ දිය හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙක් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ ආර්ය ශ්‍රාවකයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය, ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”

(හත්වෙනි සමුද්ද සූත්‍රය නිමි)