සංයුත්තනිකායො

නිදාන වර්ගය

2. අභිසමය සංයුත්තය

8. සමුද්ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී, එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ වනාහි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හැර මහ මුහුද ක්ෂයවීමට, විනාශවීමට යන්නේවේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, යම් ජලයක් වේද ඉතිරිවූ, දිය බිඳු දෙකක් හෝ තුනක් හෝ වේද, මේ දෙකින් කුමක්වනාහි ඉතා අධිකවේද?”

“ස්වාමීනි. ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, යම් ජලයක් වේද, එයම ඉතා අධික වේ. ඉතිරිවූ, දියබිඳු දෙක හෝ තුන හෝ ඉතා ස්වල්ප වේ. ඉතිරිවූ, දියබිඳු දෙක හෝ තුන හෝ, ක්ෂයවූ, විනාශවූ, මහ මුහුදෙහිවූ, දිය හා සසඳන කල්හි සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවර වූයේද, ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ, කෙළවරවූ, දුක් ගොඩ හා සමග සැසැඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.

“මහණෙනි, එසේම ආර්ය ශ්‍රාවකයාගේ ධර්මාවබෝධය වනාහි මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම එසේ මහත්වූ අර්ථ ඇත්තේය.”

(අටවෙනි සමුද්ද සූත්‍රය නිමි.)