සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
4. චතු ධාතු වර්ගය
4. නොවෙදං සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙහි අස්සාදයක් (රස විඳීමක්) නැත්තේ නම් සත්වයෝ මේ පඨවි ධාතුවෙහි නො ඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙහි ආදීනවයක් (දෝෂයක්) නැත්තේ නම් මේ සත්වයෝ පඨවි ධාතුවෙහි නොකලකිරෙන්නාහුය මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුවෙහි ආදීනවයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙහි නිස්සරණයක් (නිදහස්වීමක්) නොවූයේ නම් සත්වයෝ පඨවි ධාතුවෙන් නික්ම නොයන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුවෙහි නිස්සරණය ඇත්තේ වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙන් නික්ම යෙති.
“මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුවෙහි අස්සාදයක් නොවූයේ නම් සත්වයෝ මේ ආපෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුවෙහි ආදීනව නොවූයේ නම් මේ සත්වයෝ ආපෝ ධාතුවෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුවෙහි ආදීනව ඇත්තේ වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුවෙහි නිස්සරණයක් නොවූයේ නම් සත්වයෝ මේ ආපෝ ධාතුවෙන් නිදහස් නොවෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුවෙහි නිස්සරණයක් ඇත්තේ වේද එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙන් නිදහස් වෙති.
“මහණෙනි, ඉදින් මේ තේජෝ ධාතුවෙහි අස්සාදයක් නොවූයේ නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ තේජෝ ධාතුවෙහි ආදීනව නොවූයේ නම් මේ සත්වයෝ තේජෝ ධාතුවෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුවේ ආදීනව ඇත්තේ වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි කලකිරෙයි. මහණෙනි, ඉදින් තේජෝ ධාතුවෙහි නිස්සරණයක් නොවූයේ නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙන් නිදහස් නොවන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුවෙහි නිස්සරණයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙන් නිදහස් වෙති.
“මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙහි අස්සාදයක් නොවූයේ නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුවෙහි අස්සාදයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ වායෝධාතුවෙහි ඇලෙති. මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙහි ආදීනව නොවූයේ නම් මේ සත්වයෝ වායෝ ධාතුවෙහි නොකලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුවේ ආදීනව ඇත්තේ වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙහි කලකිරෙති. මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙහි නිස්සරණයක් නොවූයේ නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙන් නිදහස් නොවන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුවෙහි නිස්සරණයක් ඇත්තේ වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙන් නිදහස් වෙති.
“මහණෙනි, යම්තාක් කල් සත්වයෝ මේ සතර ධාතූන්ගේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ නොදත්තාහුවෙත්ද, මහණෙනි, ඒතාක් මේ සත්වයෝ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙන් බැහැර වූවාහු, වෙන් වූවාහු, මිදුනාහු, සීමා නොකරනලද සිතින් යුක්තව වාසය නොකළාහුය. මහණෙනි, යම් කලක සිට වනාහි සත්වයෝ මේ සතර ධාතූන්ගේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනව ආදීනව වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දත්තාහු වෙත්ද, මහණෙනි, එකල්හි සත්වයෝ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාවෙන් යුත් ලෝකයෙන් බැහැර වූවාහු, වෙන් වූවාහු, මිදුනාහු, සීමා නොකරනලද සිතින් යුක්තව වාසය කෙරෙති.”
(සතරවෙනි නෝවේදං සූත්‍රය නිමි.)