සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
4. චතු ධාතු වර්ගය
5. දුක්ඛ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ පඨවි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් පෙළුණක්, දුකට බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වීනම් සත්වයෝ මේ පඨවි ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුව සැප වූවක්, සැපයෙන් යුක්ත වූවක්, සැපයෙන් බැස ගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වූයේ නම් මේ සත්වයෝ පඨවි ධාතුවෙහි ඇලෙත්.
“මහණෙනි, මේ ආපෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ ආපෝධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම්හෙයකින් වනාහි ආපෝ ධාතුව සැප වූවක්, සැපයෙන් යුක්ත වූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි ඇලෙත්.
“මහණෙනි, මේ තේජෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැස ගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝධාතුව සැපවූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නාලද්දක් දුකින් බැසනොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි ඇලෙත්.
“මහණෙනි, මේ වායෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් දුක් වූවක්, දුකින් යුක්තවූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙහි නොඇලෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුව සැප වූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙහි ඇලෙත්.
“මහණෙනි, මේ පඨවි ධාතුවද ඒකාන්තයෙන් සැප වූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් වූයේ නම් සත්වයෝ මේ පඨවි ධාතුවෙහි නො කලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි පඨවි ධාතුව දුක්වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ පඨවි ධාතුවෙහි කලකිරෙත්.
‘මහණෙනි, මේ ආපෝ ධාතුවද වනාහි ඒකාන්තයෙන් සැපවූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැස ගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ ආපෝ ධාතුවෙහි නො කලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි ආපෝ ධාතුව දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැස ගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ ආපෝ ධාතුවෙහි කලකිරෙත්.
“මහණෙනි, මේ තේජෝධාතුවද වනාහි ඒකාන්තයෙන් සැපවූවක්, සැපයෙන් යුක්තවූවක්, සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැසනොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ තේජෝ ධාතුවෙහි නො කලකිරෙන්නාහුය. මහණෙනි, යම් හෙයකින් වනාහි තේජෝ ධාතුව දුක්වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැස ගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ තේජෝ ධාතුවෙහි කලකිරෙත්.
“මහණෙනි, මේ වායෝධාතුවද වනාහි ඒකාන්තයෙන් සැපවූවක්, සැපයෙන් යුක්තවූවක් සැපයෙන් බැසගන්නා ලද්දක්, දුකින් බැස නොගන්නා ලද්දක් නම් සත්වයෝ මේ වායෝ ධාතුවෙහි නො කලකිරෙන්නාහුය මහණෙනි, යම් හෙයකින් වනාහි වායෝ ධාතුව දුක් වූවක්, දුකින් යුක්ත වූවක්, දුකින් බැසගන්නා ලද්දක්, සැපයෙන් බැස නොගන්නා ලද්දක් වේද, එනිසා සත්වයෝ වායෝ ධාතුවෙහි කලකිරෙත්.”
(පස්වෙනි දුක්ඛ සූත්‍රය නිමි.)