සංයුත්තනිකායො

නිදාන වර්ගය

8. ලක්ඛණ සංයුත්තය

2. දෙවැනි වර්ගය

7. භික්ඛු සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම, පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණස්ථවිරයන් හට මෙය කීයේය. “ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය.

ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර තෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී, සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙම ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිර හට මෙය කීයේය. “ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළකිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?” “ඇවැත්, ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි.” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේද රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක වැඩ හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන් කරන්නාවූ මහණ ප්‍රේතයෙකු දැක්කෙමි. ඒ මහණහුගේ දෙපොට සිවුරද ගින්නෙන් ඇවිළුණේය. දිලිසුනේය, දැල්වුනේය, පාත්‍රයද ගින්නෙන් ඇවිළුණේය. දිළිසුනේය, දැල්වුනේය, පටියද ඇවිලුනේය, දිලිසුනේය, දැල්වුනේය, කයද ඇවිලුනේය දිළිසුනේය. දැල්වුනේය. හෙතෙම බැගෑපත් හඬ නඟයි.”

‘ඇවැත ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ, අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථා කළ සේක.

“මහණෙනි, යම්හෙයකින් වනාහි ශ්‍රාවකයෙක් තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙයි. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ සත්වතෙම මුලදීම මා විසින් දක්නා ලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නොඅදහන්නාහුය. යම් අය මා නොඅදහන්නාහු නම් එය ඔවුන්හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණස, දුක් පිණිස වන්නේය.

“මහණෙනි, මේ මහණතෙම කස්සප සම්මාසම්බුදුන්ගේ ශාසනයෙහි පාප භික්ෂුවක් විය. ඒ මහණතෙම ඒ කර්මයාගේම විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේ ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලැබේයයි” වදාළසේක.

(සත්වෙනි භික්ඛු සූත්‍රය නිමි.)