සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

12. සිගාල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තෙපි රෑ එළිවෙන යාමෙහි හඬන්නාවූ, ජරසිගාලයෙකුගේ (නරියෙකුගේ) හඬක් ඇසුවහුද?” “ස්වාමීනි, එසේය.”

“මහණෙනි, ඒ ජරසිගාලයා කෙරෙහි වනාහි යම්කිසි කෘතඥතාවයක්, කෙළෙහිගුණ දැනීමක් වන්නේය. මේ ශාසනයෙහි ශාක්‍ය පුත්‍රභාවය ප්‍රතිඥා කරන්නාවූ, ඇතැම් මහණෙකු කෙරෙහි කිසියම් කෘතඥතාවයක්, කෙළෙහිගුණ සැලකීමක් නොවන්නේමය.”

“මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප කෙරෙහි කළ සුළු දෙය පවා නොනසින්නේ යයි කෘතඥයෝ, කෙළෙහිගුණ සලකන්නෝ වන්නෙමුයි කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දොළොස් වෙනි සිගාල සූත්‍රය නිමි.)

ඕපම්ම (උපමා) සංයුත්තය නිමි.

කූට සූත්‍රය, නඛ සිඛ සූත්‍රය, කුල සූත්‍රය, ඔක්ඛා සූත්‍රය, සත්ති සූත්‍රය, ධනුග්ගහ සූත්‍රය, ආණි සූත්‍රය, කලිඩ්ගර සූත්‍රය, නාග සූත්‍රය, බිළාර සූත්‍රය සහ සිගාල සූත්‍ර දෙකදැයි මේ ඕපම්ම සංයුත්තයෙහි සූත්‍ර දොළොසකි.