සංයුත්තනිකායො

නිදාන වර්ගය

9. ඕපම්ම සංයුත්තය

11. සිගාල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තෙපි රෑ එළිවෙන ජාමෙහි හඬන්නාවූ ජර සිගාලයෙකුගේ (නරියෙකුගේ හඬක්) ඇසුවාහුද?” “ස්වාමීනි, එසේය.” “මහණෙනි, මේ ජරසිගාලතෙම ‘උක්කණ්ණ’ නම් රෝග විශෙෂයෙන් ස්පර්ශකරන ලද්දේය. ඒ ජරසිගාලතෙම යම් යම් තැනක යන්න කැමති වෙයිද, ඒ ඒ තැනට යෙයි. යම් යම් තැනක සිටිනු කැමැති වෙයිද, ඒ ඒ තැන සිටියි. යම් යම් තැනක හිඳිනු කැමැති වෙයිද, ඒ ඒතැන හිඳියි. යම් යම් තැනක නිදනු කැමති වෙයිද, ඒ ඒ තැන හොවියි. සිහිල් වාතයද ඌ වෙත හමයි. මහණෙනි, මේ ශාසනයෙහි ශාක්‍ය පුත්‍රභාවය ප්‍රතිඥා කරන්නාවූ, ඇතැම් මහණෙක්තෙම මෙවැනි ආත්මභාවයක් ලබන්නේ නම් යහපත් වන්නේය. මහණෙනි, එනිසා මෙහිදී මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ‘අප්‍රමාදව වාසය කරමු’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(එකොළොස් වෙනි සිගාල සූත්‍රය නිමි.)