සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
2. රාධ සංයුත්තය
2. දෙවෙනි වර්ගය
2. මාර ධර්ම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, ‘මාරධර්මය, මාරධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, මාරධර්මය නම් කවරේද?
“රාධය, රූපය මාරධර්මය නම්වේ. වේදනාව මාරධර්මය නම්වේ. සංඥාව මාරධර්මය නම්වේ. සංස්කාරයෝ මාරධර්ම නම්වේ. විඤ්ඤාණය මාරධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවක තෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) නොඇලෙයි. (ඵලයට පැමිණීමෙන්) මිදෙයි මිදුනු කල්හි මිදුනේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දැනගනී” යනුයි.
(දෙවෙනි මාරධර්ම සූත්‍රය නිමි.)