සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

3. ආයාචන වර්ගය

1–11. මාර ආදී වූ සූත්‍ර එකොළහ

මාර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව ජනයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යෙදී ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.

“රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඡන්දය (කැමැත්ත) දුරු කටයුතුයි. රාධය, මාරයා නම් කවරේද?

“රාධය රූපය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. වේදනාව මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. සංඥාව මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. සංස්කාරයෝ මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුයි. විඤ්ඤාණය මාරයෙකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුයි. රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුයයි” වදාළේය.

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව ජනයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙළෙස් තවන වීර්යයෙන් යෙදී ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.

“රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ රාගය (ඇල්ම) දුරුකළ යුතුය. රාධය, මාරයා නම් කවරේද?

“රාධය රූපය මාරයෙකි. එහි ඔබගේ ඇල්ම දුරුකළ යුතුයි. වේදනාව මාරයෙකි. එහි ඔබගේ ඇල්ම දුරුකළ යුතුයි. සංඥාව මාරයෙකි. එහි ඔබගේ ඇල්ම දුරුකළ යුතුයි. සංස්කාරයෝ මාරයෙකි. එහි ඔබගේ ඇල්ම දුරුකළයුතුයි. විඥානය මාරයෙකි. එහි ඔබගේ ඇල්ම දුරු කළ යුතුයි. රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඇල්ම දුරු කළ යුතුයයි” වදාළේය.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හිඳගත්තේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.

“රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ ඡන්ද රාගය (බලවත් ඇල්ම) දුරු කළ යුතුයි.

“රාධය, මාරයා නම් කවරේද?”

“රාධය, රූපය මාරයෙකි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරු කළයුතුය. වේදනාව මාරයෙකි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංඥාව මාරයෙකි. එහි ඔගේ බලවත් ඇල්ම දුරු කළ යුතුය. සංස්කාර මාරයෙකි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය මාරයෙකි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ මාරයෙක් වෙයිද, එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුයයි වදාළේය.

(පළමුවෙනි මාර සූත්‍රය නිමි.)

මාර ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.

“රාධය, යම් ඒ මාර ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත පහකළයුතුයි. එහි ඔබගේ ඇල්ම දුරුකළයුතුයි. එහි ඔබගේ බලවත් ඇල්ම දුරුකළ යුතුයි.

“රාධය, මාර ධර්මය නම් කවරේද?”

“රූපය මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුය. බලවත් ඇල්ම පහකළ යුතුය. වේදනාව මාර ධර්මයකි, එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුය. බලවත් ඇල්ම පහකළ යුතුය. සංඥාව මාර ධර්මයකි, එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුය. බලවත් ඇල්ම පහකළ යුතුය. සංස්කාර මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුය. බලවත් ඇල්ම පහකළ යුතුය. විඤ්ඤාණය මාර ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත පහකළ යුතුය. ඇල්ම පහකළ යුතුයි. බලවත් ඇල්ම පහකළ යුතුයයි වදාළේය.

(දෙවෙනි මාර ධර්ම සූත්‍රය නිමි.)

අනිත්‍ය සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යනුයි,

රාධය, යමක් අනිත්‍යද එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, අනිත්‍යය නම් කුමක්ද?

“රාධය, රූපය අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි, ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. වේදනාව අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි, බලවත් ඇල්ම දුරුකළ යුතුයි. සංඥාව අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරු කළ යුතුයි. බලවත්ඇල්ම දුරුකළ යුතුයි. සංස්කාර අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. විඤ්ඤාණය අනිත්‍යය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. රාධය, යම් ඒ අනිත්‍යයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරු කළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි” වදාළේය.

(තුන්වෙනි අනිත්‍ය සූත්‍රය නිමි.)

අනිත්‍ය ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය.

“එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව ජනයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යෙදී ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යනුයි.

“රාධය, යම් ඒ අනිත්‍ය ධර්මයක්වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි.

“රාධය, අනිත්‍ය ධර්මය නම් කවරේද?

“රාධය, රූපය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරු කළ යුතුයි. වේදනාව අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. සංඥාව අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. සංස්කාරය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි. විඤ්ඤාණය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරු කළ යුතුයි.”

(හතරවෙනි අනිත්‍ය ධර්ම සූත්‍රය නිමි.)

දුක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යනුයි.

“රාධය, යම් ඒ දුකක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, දුක නම් කවරේද?”

“රාධය, රූපය දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වේද, එහි ඔබගේ ඡන්ද රාගය දුරුකළ යුතුය.

(පස්වෙනි දුක්ඛ සූත්‍රය නිමි.)

දුක්ඛ ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමි”යනුයි.

“රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, දුක්ඛ ධර්මය නම් කවරේද?

“රාධය රූපය දුක්ඛ ධර්මයකි එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළයුතුය. බලවත් ඇල්ම දුරුකළයුතුය. වේදනාව දුක්ඛ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව දුක්ඛ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය දුක්ඛ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය දුක්ඛ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.”

(හයවෙනි දුක්ඛ ධර්ම සූත්‍රය නිමි.)

අනාත්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමි” යනුයි.

“රාධය, යම් ඒ අනාත්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, අනාත්මය නම් කවරේද?”

“රාධය රූපය අනාත්මය. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව අනාත්මය, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව අනාත්මය. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය අනාත්මය එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය අනාත්මය එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ අනාත්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.”

(හත්වෙනි අනාත්ම සූත්‍රය නිමි.)

අනාත්ම ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරන සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි”යනුයි.

“රාධය, යම් ඒ අනාත්ම ධර්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, අනාත්ම ධර්මය නම් කවරේද?

“රාධය රූපය අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළයුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ අනාත්ම ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.”

(අටවෙනි අනාත්ම ධර්ම සූත්‍රය නිමි.)

ඛය ධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.

“රාධය, යම් ඒ විනාශවෙන ස්වභාවය ඇත්තක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, විනාශවන ස්වභාවය නම් කුමක්ද?”

“රාධය රූපය විනාශ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව විනාශ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව විනාශ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය විනාශ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය විනාශ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ විනාශ ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.”

(නවවෙනි ඛය ධම්ම සූත්‍රය නිමි.)

වයධම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණසේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමි” යනුයි.

“රාධය, යම් ඒ නැතිවන ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, නැතිවන ධර්ම කවරේද?”

“රාධය රූපය නැතිවන ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව නැතිවන ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව නැතිවන ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය නැතිවන ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය නැතිවන ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ නැතිවන ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.”

(දහවෙනි වයධම්ම සූත්‍රය නිමි.)

සමුදය ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දෙශනා කරණ සේක්වා. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව, ජනයාගෙන් වෙන්ව, අප්‍රමාදව, කෙළෙස් තවන වීර්යයෙන් යෙදී, ආත්මපරිත්‍යාගයෙන් යුක්තව වාසය කරමි” යනුයි.

“රාධය, යම් ඒ හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.

“රාධය, හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මය කවරේද?”

“රාධය රූපය හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සඤ්ඤාව හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. සංස්කාරය හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. විඤ්ඤාණය හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයකි එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ හෙතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.”

(එකොළොස්වෙනි සමුදය ධර්ම සූත්‍රය නිමි.)