සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
2. පෙය්‍යාල වර්ගය
19. අත්තා සූත්‍රය (1)
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මයයයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන සේක් නම් මැනවි.
“මහණෙනි, එසේ නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි රූපය නිසා රූපයට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගිවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගිවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“සංස්කාර ඇති කල්හි සංස්කාරය නිසා සංස්කාරයන්ට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය නිසා විඤ්ඤාණයට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
[4] “මහණෙනි, කුමක් සිතන්නහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, ඉදින් ඒ රූපය අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද” -“ස්වාමීනි, එසේ නොවේ.”
“මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, ඉදින් ඒ වේදනාව අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” -“ස්වාමීනි, එසේ නොවේ.”
“මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මරණයෙන් මතු අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි” යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
“මහණෙනි, කුමක් සිතන්නහුද? සංඥාව නිත්‍යයද, අනිත්‍යයද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවයද ඉදින් ඒ සංඥාව අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” -“ස්වාමීනි, එසේ නොවේ.”
මහණෙනි, මෙසේ දුක ඇති කල්හි දුක නිසා දුකට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.
‘මහණෙනි, කුමක් සිතන්නහුද? සංස්කාර නිත්‍යද අනිත්‍යයද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද දුකද වෙනස්වන ස්වභාවද ඉදින් ඒ සංස්කාර අල්වා නොගැනීමෙන් මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” -“ස්වාමීනි, එසේ නොවේ.”
“මහණෙනි. මෙසේ දුක ඇතිකල්හි දුක නිසා දුකට පැමිණ මරණයෙන් මතු ‘අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි, දෘෂ්ටියක් උපදියි.”
‘මහණෙනි, කුමක් සිතන්නහුද? විඤ්ඤාණය නිත්‍යය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
‘යමක් වනාහි අනිත්‍යයද එය දුක හෝ සැප හෝ වෙයිද?” - “ස්වාමීනි දුකය.”
‘යමක් වනාහි අනිත්‍යයද දුකද වෙනස්වන ස්වභාවද, ඒ විඤ්ඤාණය දැඩිකොට අල්වා නොගෙන ‘මරණයෙන් මතු අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියිද?” - “ස්වාමීනි. එසේ නොවේ.”
“මහණෙනි. මෙසේ දුක ඇතිකල්හි දුක නිසා දුකට පැමිණ ‘මරණයෙන් මතු අරමුණ නිරෝගීවූ ආත්මය වෙයි’ යන දෘෂ්ටිය උපදියි.
[5] “මහණෙනි, යම්තැනක පටන් ආර්ය ශ්‍රාවකයාහට මේ කරුණු සයෙහි, සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැකදුරු වූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳව ද සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ ශ්‍රොතාපන්නයයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියත ගති ඇත්තෙකැයිද, අර්හත්ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.