සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
6. නත්ථි කරොථ සූත්‍රය. (2)
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට බැසගෙන (පව්කම්) කරන්නාහටද කරවන්නාහටද අත් පාද ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩාකරන්නා හටද පීඩා කරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා සෝක කරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නාහටද ගම්පහරන්නාහටද ගේ වට කර බඩු පැහැර ගන්නාහටද මගරැක සිට අන්සතු දෙය පැහැර ගන්නා හටද පරඹුවන් කරා යන්නාහටද බොරුකියන්නාහටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහි වූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද ඒ නිසා වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩාකරමින් පීඩා කරවමින් ගංගානදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට
ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත, දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාගකරමින් යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද ඒ හේතුකොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොට ගෙනද ඉන්ද්‍රිය දමනය කරණ කොට ගෙනද සීල සංයමය කරණකොට ගෙනද සත්‍ය වචනය කරණ කොට ගෙනද වන්නාවූ පිණක් නැත, පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත,’ යන මේ දෘෂ්ටි උපදීද?
[2] “ස්වාමීනි, අපගේ දහම් භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි, එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇති කල්හි කුමක් නිසා රූපයට බැසගෙන ‘කරන්නාහටද කරවන්නාහටද අත් පාද ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩා කරන්නාහටද පීඩා කරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා ශෝකකරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නා හටද ගම් පහරන්නාහටද ගේ වටකර බඩු පැහැර ගන්නාහටද මගරැක සිට අන් සතු දෙය පැහැර ගන්නාහටද පරඹුවන්කරා යන්නාහටද බොරු කියන්නා හටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහි වූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩාකරමින් පීඩා කරවමින් ගංගානදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත, දීම කරණකොට ගෙනද දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පින් නැත, පුණ්‍යයාගේ පැමිණීමක් නැත”, යන මේ දෘෂ්ටි උපදියි.
[4] “වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට බැසගෙන ‘කරන්නාහටද කරවන්නාහටද අත් පාද ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩා කරන්නාහටද පීඩාකරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා ශෝක කරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නාහටද ගම් පහරන්නාහටද ගේ වටකර බඩු පැහැර ගන්නාහටද මග රැක සිට අන්සතු දෙය පැහැරගන්නාහටද පරඹුවන් කරා යන්නාහටද බොරු කියන්නාහටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහි වූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩා කරමින් පීඩා කරවමින් ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාගකරමින් යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත, දීම කරණකොට ගෙනද, දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් වන්නාවූපින්නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැත’ යන මේ දෘෂ්ටිය උපදියි.
[5] “සංඥාව ඇති කල්හි සංඥාව නිසා සංඥාවට බැසගෙන කරන්නාහටද, කරවන්නාහටද, අත් පාද ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩා කරන්නාහටද පීඩා කරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා ශෝක කරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නාහටද ගම් පහරන්නාහටද ගේ වටකර බඩු පැහැරගන්නාහටද මගරැක සිට අන් සතු දෙය පැහැරගන්නාහටද පරඹුවන් කරා යන්නාහටද බොරු කියන්නාහටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද ඒ නිසා වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩා කරමින් පීඩා කරවමින් ගංගානදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, දන් දෙමින් දන් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොටගෙන වන පිණක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත, දීම කරණකොට ගෙණද, දානයෙන් ඉන්ද්‍රිය දමනයයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් පින් නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැත’ යන මේ දෘෂ්ටිය උපදියි.
[6] “සංස්කාරයන් ඇති කල්හි සංස්කාරයන් නිසා සංස්කාරයන්ට බැසගෙන ‘කරන්නාහටද, කරවන්නාහටද, අත් පාද ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩා කරන්නාහටද පීඩා කරවන්නාහටද ශෝක ඇතිකරන්නාහටද අනුන් ලවා ශෝක කරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නා හටද ගම් පහරන්නාහටද ගේ වටකර බඩු පැහැර ගන්නාහටද මගරැක සිට අන්සතු දෙය පැහැරගන්නාහටද පරඹුවන් කරායන්නාහටද බොරු කියන්නාහටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩා කරමින් පීඩාකරවමින් ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත, පාපයාගේ පැමිණීමක්ද නැත, දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාගකරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුරු දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත, දීම කරණකොට ගෙනද, දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් සීල සංයමයෙන් සත්‍ය වචනයෙන් වචනයෙන් පින් නැත.’ පුණ්‍යයාගේ පැමිණීමක් නැත. යන මේ දෘෂ්ටිය උපදියි.
[7] “විඥානය ඇති කල්හි විඥානය නිසා බැස ගෙන ‘කරන්නාහටද කරවන්නාහටද අත්පා ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩා කරන්නාහටද පීඩා කරවන්නාහටද සෝක ඇතිකරන්නාහටද අනුන් ලවා ශෝක කරවන්නාහටද ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්ත කරවන්නාහටද බඳින්නාහටද බන්දවන්නාහටද ප්‍රාණඝාත කරන්නාහටද සොරකම් කරන්නාහටද ගෙවල් බිඳින්නාහටද ගම් පහරන්නාහටද ගේ වටකර බඩු පැහැරගන්නාහටද මගරැක සිට අන්සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද, බොරු කියන්නාහටද පව් කරන්නාහටද පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස්ගොඩක් කරන්නේද, ඒ නිසා වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින් ඝාතනය කරමින් සිඳිමින් සින්දවමින් පීඩාකරමින් පීඩාකරවමින් ගංගානදියෙහි දකුණු ඉවුරතෙක් යන්නේද ඒ හේතුකොටගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත, දන් දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාගකරවමින් ගංගානදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පිනක් නැත පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත, දීම කරණකොටගෙනද ඉන්ද්‍රිය දමනය කරණකොටගෙනද සීල සංයමය කරණකොට ගෙනද සත්‍යවචනයෙන්ද වන්නාවූ පිනක් නැත, පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත’ යන මේ දෘෂ්ටි උපදියි.
[8] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද? “රූපය නිත්‍ය ද අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - ‘ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්න ස්වභාවද, එය දැඩි කොට නොගෙන ‘කරන්නාහටද, කරවන්නාහටද, අත්පා ආදිය සිඳින්නාහටද, සින්දවන්නාහටද, පීඩාකරන්නාහටද, පීඩාකරවන්නා හටද, සෝක ඇති කරන්නාහටද, අනුන් ලවා සෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද, ක්ලාන්ත කරවන්නාහටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නා හටද ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැරගන්නා හටද, මග රැක සිට අන් සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද බොරු කියන්නාහටද, පව් කරන්නාහටද, පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින්, පීඩාකරමින්, පීඩාකරවමින්, ගංගා නදියෙහි දකුණු ඉවුරතෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. දන් දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාගකරවමින්, ගංගානදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතු කොටගෙන වන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොටගෙනද, ඉන්ද්‍රිය දමනය කරණකොට ගෙනද, සීල සංයම කරණකොටගෙනද, සත්‍යවචනය කරණකොටගෙනද වන්නාවූ පිණක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නොවන්නේමය.”
[9] “වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය නම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි. දුකය.”
“යමක්වනාහි අනිත්‍යයද දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘කරන්නාහටද, කරවන්නාහටද අත්පා ආදිය සිඳින්නාහටද, සින්දවන්නාහටද පීඩාකරන්නාහටද, පීඩාකරවන්නාහටද, සෝක ඇති කරන්නාහටද, අනුන් ලවා සෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද, ක්ලාන්ත කරවන්නාහටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නාහටද, ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැර ගන්නාහටද, මග රැක සිට අන්සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද, බොරු කියන්නාහටද, පව්කරන්නාහටද, පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත, නසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින්, පීඩාකරමින්, පීඩා කරවමින්, ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින්, යාග කරවමින්, ගංගා නදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතු කොට ගෙන වන පින් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොට ගෙනද, ඉන්ද්‍රිය දමනය කරණකොට ගෙනද, සීල සංයමය කරණකොටගෙනද, සත්‍යවචනය කරණකොට ගෙනද, වන්නාවූ පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නොවන්නේමය.”
[10] “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම්, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘කරන්නාහටද, කරවන්නාහටද, අත් පා ආදිය සිඳින්නාහටද, සින්දවන්නාහටද, පීඩාකරන්නාහටද, සෝක ඇති කරන්නාහටද, අනුන් ලවා සෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද, ක්ලාන්ත කරවන්නාහටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නා හටද ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැරගන්නා හටද මග රැක සිට අන්සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද, බොරු කියන්නාහටද, පව්කරන්නාහටද, පාපයක් නැත කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින් ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින්, පීඩා කරමින්, පීඩා කරවමින්, ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. දන්දෙමින් දෙවමින් මහාදාන සංඛ්‍යාත යාග කරමින්, යාග කරවමින් ගංගා නදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතු කොට ගෙන පින් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත දීම කරණකොටගෙනද, ඉන්ද්‍රිය දමනය කරණකොටගෙනද, සීල සංයමය කරණකොටගෙනද, සත්‍යවචනය කරණකොට ගෙනද, වන්නාවූ පිනක් නැත පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නොවන්නේමය.”
[11] “සංස්කාර නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍යනම්. එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන ‘කරන්නාහටද, කරවන්නාහටද, අත්පා ආදිය සිඳින්නාහටද සින්දවන්නාහටද පීඩාකරන්නා හටද, සෝක ඇති කරන්නාහටද, අනුන් ලවා සෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද, ක්ලාන්ත කරවන්නා හටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නා හටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නාහටද, ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැරගන්නාහටද, මග රැක සිට අන් සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද, බොරු කියන්නාහටද, පව්කරන්නාහටද, පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින්, පීඩාකරමින්, පීඩාකරවමින්, ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොට ගෙන වන පවක් නැත. පාපයාගේ පැමිණීමක් නැත. දන්දෙමින්, දෙවමින්, මහාදාන සංඛ්‍යාත යාග කරමින් යාග කරවමින්, ගංගානදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතු කොටගෙන පින්නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොටගෙනද, ඉන්ද්‍රිය දමනය කරණකොටගෙනද, සීල සංයමය කරණකොටගෙනද, සත්‍යවචනය කරණකොට ගෙනද, වන්නාවූ පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නොවන්නේමය.”
[12] “විඥානය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍යද, එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට අල්වා නොගෙන කරන්නාහටද, කරවන්නාහටද, අත්පා ආදිය සිඳින්නාහටද, සින්දවන්නාහටද, පීඩාකරන්නා හටද, පීඩාකරවන්නාහටද, සෝක ඇතිකරන්නාහටද, අනුන් ලවා සෝක කරවන්නාහටද, ක්ලාන්ත කරන්නාහටද ක්ලාන්තකරවන්නාහටද, බඳින්නාහටද, බන්දවන්නාහටද, ප්‍රාණඝාත කරන්නාහටද, සොරකම් කරන්නාහටද, ගෙවල් බිඳින්නා හටද, ගම් පහරන්නාහටද, ගේ වටකර බඩු පැහැරගන්නාහටද, මග රැක සිට අන් සතු දෙය පැහැරගන්නාහටද, පරඹුවන් කරා යන්නාහටද, බොරු කියන්නාහටද, පව්කරන්නාහටද, පාපයක් නැත. කඩු හාත්පස ඇති චක්‍රයකින් යමෙක් පෘථිවියෙහිවූ සියලු ප්‍රාණීන් එකම මස් රැසක් එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක්ද නැත. නසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින් පීඩාකරමින්, පීඩාකරවමින්, ගංගා නදියෙහි දකුණු ඉවුර තෙක් යන්නේද, ඒ හේතුකොටගෙන වන පවක් නැත පාපයාගේ පැමිණීමක් නැත. දන්දෙමින්, දෙවමින්, මහාදාන සංඛ්‍යාත යාග කරමින්, යාග කරවමින්, ගංගා නදියෙහි උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොටගෙන පින් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත. දීම කරණකොට ගෙනද, ඉන්ද්‍රිය දමනය කරණකොටගෙනද, සීල සංයමය කරණකොටගෙනද, සත්‍ය වචනය කරණකොටගෙනද, වන්නාවූ පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්ද නැත’ යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, නොවන්නේමය.”
[13] “ඇසින් දකින ලද කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය හෝ දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යයද, දුකද, වෙනස්න ස්වභාවද, එය දැඩිකොට නොගෙන ‘කරන්නාටද, කරවන්නාටද, අත්පාආදිය සිඳින්නාහටද, සින්දවන්නාටද, පීඩාකරන්නාටද, පීඩාකරවන්නාටද ශෝක ඇති කරන්නාටද, ශෝක ඇති කරවන්නාටද, ක්ලාන්ත කරන්නාටද, ක්ලාන්ත කරවන්නාටද, බඳින්නාටද, බන්දවන්නාටද, ප්‍රාණඝාත කරන්නාටද, සොරකම් කරන්නාටද, ගෙවල් බිඳින්නාටද, ගම් පහරන්නාටද ගේ වටකර බඩු පැහැරගන්නාහටද, මංපහරන්නාටද, පරඹුවන් කරා යන්නාටද, බොරු කියන්නාටද, පව් කරන්නාටද, පව් නැතැයිද, ඉදින් යමෙක් තෙමේ කඩු හාත්පස ඇති චක්‍රයකින් මේ පොළෝ තෙලෙහි සත්ත්වයන් එකම මස් රැසක් කරන්නේද එකම මස් ගොඩක් කරන්නේද, ඒ නිසා වන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැතැයිද, නසමින්, ඝාතනය කරමින්, සිඳිමින්, සින්දවමින්, පීඩාකරමින්, පීඩාකරවමින්, ගංගානදියේ දකුණු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොට ගෙන සිදුවන පාපයක් නැත. පාපයාගේ පැමිණීමක් නැතැයිද, දන්දෙමින්, දෙවමින්, මහාදාන සංඛ්‍යාත යාග කරමින්, කරවමින්, ගංගා නදියේ උතුරු ඉවුර දක්වා ඉදින් යන්නේද, ඒ හේතුකොට වන්නාවූ පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක්, නැතැයිද, දානයෙන්ද, ඉන්ද්‍රිය දමනයෙන්ද, සීල සංගමයෙන්ද සත්‍ය වචනයෙන්ද, සිදුවන පිනක් නැත. පුණ්‍යයාගේ පැමිණීමක් නැතැයිද යන මේ දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[14] “මහණෙනි, යම් තැනක පටන් ආර්යශ්‍රාවකයාගේ මේ කරුණු සයෙහි සැක දුරුවූයේවෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ සමුදය පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධය පිළිබඳවද සැක දුරු වූයේ වෙයි. ඔහුට දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව පිළිබඳවද සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ සොතාපන්නයයිද, සතර අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තෙකැයිද, නියත ගති ඇත්තෙකැයිද, අර්හත් ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(හයවෙනි නත්ථි කරොථ සූත්‍රය (2) නිමි.)