සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
1. සොයෙව පෙය්‍යාල වර්ගය
7. නත්ථි හේතු සූත්‍රය
[1] මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, කුමක් ඇතිකල්හි කුමක් නිසා කුමකට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදු වෙත්. (දිව්‍ය ලොකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බලරහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සැප දුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදීද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමැයි” කීය.
“ස්වාමීනි එසේයයි,” ඒ භික්ෂූහු, භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
[3] “මහණෙනි, රූපය ඇතිකල්හි රූපය නිසා, රූපයට බැසගෙන, “සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස, හේතුවක් නැත ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතු වන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමා වසඟයෙහි නොපවත්නාහු, බලරහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදියි.
[4] “වේදනාව ඇතිකල්හි, වේදනාව නිසා. වේදනාවට බැසගෙන, ‘සත්වයන්ගේ කෙලෙසීම පිණිස, හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍ය රහිතව, සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතු වන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු, තමාවසඟයෙහි නොපවත්නාහු, බලරහිත වූවාහු, වීර්යනැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන් කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවතවිඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදියි.
[5] “සංඥාව ඇතිකල්හි, සංඥාව නිසා, සංඥාවට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු, තමා වසඟයෙහි නොපවත්නාහු, බල රහිත වූවාහු, වීර්යනැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාහිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදියි.
[6] “සංස්කාර ඇතිකල්හි, සංස්කාර නිසා, සංස්කාරයන්ට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව, සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු, තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිතවූවාහු, වීර්යනැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදියි.
[7] “විඤ්ඤාණය ඇතිකල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයයට බැසගෙන ‘සත්ත්වයන්ගේ කෙලෙසීම පිණිස හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව, සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු, තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිතවූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල නැවත නැවත සුවදුක් විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදියි.
[8] “මහණෙනි, ඒ කුමකැයි සිතව්ද?
“රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතු නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව, සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍ය ලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.
[9] “වේදනාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.” “යමක් අනිත්‍ය නම් එය දුකද; සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වනස්වභාවද, එය
දැඩිලෙස නොගෙන ‘සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතු නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතු වන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිතවූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන් කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මෙබඳු දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.
[10] “සංඥාව නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමිනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද? දුකද, පෙරළෙනස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතුවක් නැත ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙළෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතු වන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, ශාලියවාදී සියලු ජීවීහු, තමාවසඟයෙහි නොපවත්නාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන් කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - ස්වාමීනි, එය නොවන්නේමය.”
[11] “සංස්කාරයෝ නිත්‍ය හෝ අනිත්‍යය හෝ වෙයිද?” -“ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමිනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන ‘සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතුවක් නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙළෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, ශාලියවාදී සියලු ජීවීහු තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිත වූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන් කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු, තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැත නැවත විඳිත් යන මේ දෘෂ්ටි උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.”
[12] “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් අනිත්‍ය නම්, එය දුකද, සැපද?” - “ස්වාමීනි, දුකයි.”
“යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද එය දැඩිලෙස නොගෙන ‘සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතුවක්නැත. ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසුදු වෙත්. (දිව්‍ය ලෝකාදියෙහි ඉපදීමට හේතුවන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ ශාලියවාදී සියලු ජීවීහු, තමාවසඟයෙහි නොපවත්නාහු, බල රහිතවූවාහු, වීර්ය නැත්තාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන්කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදි සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?”-“ස්වාමීනි, එය නොවන්නේමය.”
[13] “ඇසින් දකින ලද කණින් අසන ලද, නාසය දිව කය යන තුනෙන් දන්නා ලද, සිතින් දැනගන්නා ලද, පැමිණෙන ලද, සොයන ලද, විමසන ලද, යම් මේ දෙයක් වෙයිද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙයිද?” - “ස්වාමීනි, අනිත්‍යය.”
“යමක් වනාහි අනිත්‍ය හෝ දුක හෝ සැප හෝ වෙයිද?” -“ස්වාමීනි, දුකය.”
“යමක් වනාහි අනිත්‍යද? දුකද, වෙනස්වන ස්වභාවද, එය දැඩිකොට නොගෙන ‘සත්ත්වයන්ගේ කෙළෙසීමට හේතුවක් නැත ප්‍රත්‍යයක් නැත. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ කෙළෙසෙත්. සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතුවක් නැත්තේය. ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව, ප්‍රත්‍යය රහිතව සත්ත්වයෝ පිරිසිදු වෙත්. (දිව්‍යලෝකාදියෙහි ඉපදීමට හේතු වන) බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ ශක්තියක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, ශාලියවාදී සියලු ජීවීහු, තමාවසඟයෙහි නොපවත්නාහු, නියම වශයෙන්ද, ඒ ඒ ජාතීන්හි ගමන් කිරීම් වශයෙන්ද, ස්වභාව වශයෙන්ද, නොයෙක් ආකාරයට පැමිණියාහු තණ්හාභිජාති ආදී සවැදෑරුම් ශ්‍රෙෂ්ඨ ජාතිවල සුවදුක් නැවත නැවත විඳිත්’ යන මේ දෘෂ්ටි උපදින්නේද?” - ස්වාමීනි, එය නොවන්නේමය.”
[14] “මහණෙනි, යම්තැනක පටන් මේ ආර්යශ්‍රාවකයාට මේ සවැදෑරුම් කරුණෙහි සැක දුරුවූයේ වෙයිද, ඔහුට දුක පිළිබඳවද සැක දුරුවූයේ වෙයි. දුක්ඛසමුදයෙහිද සැක දුරු වූයේ වෙයි. දුක්ඛ නිරොධයෙහිද සැක දුරුවූයේ වෙයි. දුක්ඛ නිරොධ ගාමිණී ප්‍රතිපදාවෙහිද සැක දුරුවූයේ වෙයි.
“මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකතෙමේ ශ්‍රොතාපන්නයයිද, සතර අපායෙහි නොවැටීම ස්වභාවකොට ඇත්තෙකැයිද නියමගති ඇත්තෙකැයිද, අර්හත්ඵලය පිහිටකොට ඇත්තෙකැයිද කියනු ලැබේ.”
(හත්වෙනි නත්ථි හේතු සූත්‍රය නිමි.)