සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

11. වලාහක සංයුත්තය

1. දේසනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක.

‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“මහණෙනි, වලාහක කොටසට අයිති දෙවියන් ගැන දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, වලාහක කොටසට අයිති දෙවියෝ කවරහුද? මහණෙනි, සීතවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, උණ්හවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, අබ්භවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි වාතවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, වස්සවලාහක දෙවියෝ ඇත්තාහ. මහණෙනි, මොවුහු වලාහක කොටසට අයත් දෙවියෝයයි” කියනු ලැබේ.