සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
11. වලාහක සංයුත්තය
2. සුචරිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීයේය.
“ස්වාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නේද, (එයට) හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරේද, වචනයෙන් සුචරිතයෙහි හැසිරේද, සිතින් සුචරිතයෙහි හැසිරේද, ඔහු විසින් (මෙසේ) අසන ලද්දේ වෙයි. වලාහක කායික දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහ. යනුයි.
“ඔහුට මෙබඳු සිතෙක් වෙයි. ‘මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙන්නෙම් නම් හොඳය’ කියායි. හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණෙයි. යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු වලාහක කායික දෙවියන් හා එක්වීමට පැමිණේද, මහණ, (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”