සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

11. යොගක්ඛෙමි වර්‍ගය

2. උපාදාය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, කුමක් ඇති කල්හි වනාහි කුමක් නිසා තමාතුළ සැප දුක් දෙක උපදීද?’’ - ’’ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ අප ධර්‍මයන්ට පමුණුවන සේක. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තේය. මේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහෙන සේක්නම් ඉතා හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා (එහි) අර්ත්‍ථය දැනගන්නාහුයයි (කීහ.) මහණෙනි, එසේ වී නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි’යි වදාළ සේක. ‘එසේය ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, ඇස ඇති කල්හි, ඇස නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. කණ ඇති කල්හි, කණ නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. නාසය ඇති කල්හි, නාසය නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. දිව ඇති කල්හි, දිව නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. කය ඇති කල්හි, කය නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි. සිත ඇති කල්හි, සිත නිසා තමා තුළ සුවදුක් දෙක උපදියි.

’’මහණෙනි, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.,

’’යමක් අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවේමැයි.,

’’කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍ය වේ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවේමැයි.,

’’නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?’’ - ’’සවාමීනි, එය නොවේමැයි.,

’’දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍ය වේ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවේමැයි.,

’’කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍ය වේ.,

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවේමැයි.,

’’සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය., , යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.,

’’යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාව ඇත්තේද, එය ‘ මමය මාගේයයි, නොගෙන තමාතුළ සුවදුක් දෙක උපදින්නේද?’’ - ’’ස්වාමීනි, එය නොවේමැයි.,

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, කණ කෙරෙහිද කලකිරෙයි, නාසය කෙරෙහිද කලකිරෙයි, දිව කෙරෙහිද කලකිරෙයි, කය කෙරෙහිද කලකිරෙයි, සිත කෙරෙහිද කලකිරෙයි, කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේය යන දැනීම වේ. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතරමගින් කළයුත්ත කරණලදී. මේ ආත්මභාවය පිණිස කළ යුතු අනිකක් නැතැයි දැනගණීයයි, (වදාළ සේක.)