සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

11. යොගක්ඛෙමි වර්‍ගය

7. උපාදාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්‍මයන්ද උපාදානයද දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, උපාදානයන්ට හිතවූ ධර්‍මයෝ කවරහුද, උපාදානය කවරේද?

’’මහණෙනි, ඇස උපාදානයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඡන්‍දරාගයක්වේද, එය එහි උපාදානය වේ. කණ උපාදානයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඡන්‍දරාගයක්වේද , එය එහි උපාදානය වේ. නැහැය උපාදානයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඡන්‍දරාගයක්වේද , එය එහි උපාදානය වේ. දිව උපාදානයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඡන්‍දරාගයක් වේද , එය එහි උපාදානය වේ. කය උපාදානයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඡන්‍දරාගයක්වේද , එය එහි උපාදානය වේ. සිත උපාදානයන්ට හිතවූ ධර්‍මය වේ. එහි යම් ඡන්‍දරාගයක්වේද , එය එහි උපාදානය වේ. මහණෙනි, මොව්හු උපාදානයන්ට හිතවූ ධර්‍මයෝයයිද මෙය උපාදානයයිද කියනුලැබෙත්යයි, (වදාළ සේක.)