සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

13. ගෘහපති වර්‍ගය

1. වේසාලි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර අසල මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි විශාලාමහනුවර වැසි උග්ග නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ විශාලාමහනුවර වැසි උග්ග නම් ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’සවාමීනි, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද, මේ ලෝකයෙහි ඇතැම් සත්‍ව කෙනෙක් මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, ඊට හේතු කවරේද, ප්‍රත්‍ය කවරේද?,

’’ගෘහපතිය, චකඛු විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, රූප ඇත්තාහ. ඉදින් මහණතෙම එයට ප්‍රිය කරයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටියිද, එයට ප්‍රිය වන්නාවූ එය ප්‍රියයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය වෙයි. එය උපාදානය වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.

’’ගෘහපතිය, සෝතවිඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ශබ්ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය කරයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටියිද, එයට ප්‍රිය වන්නාවූ එය ප්‍රියයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය වෙයි. එය උපාදානය වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.

’’ගෘහපතිය, ඝාණ විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ගන්‍ධ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට ප්‍රිය කරයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටියිද, එයට ප්‍රිය වන්නාවූ එය ප්‍රියයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය වෙයි. එය උපාදානය වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.

’’ගෘහපතිය, ජිව්හා විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, රස ඇත්තාහ. ඉදින් මහණතෙම එයට ප්‍රිය කරයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටියිද, එයට ප්‍රිය වන්නාවූ එය ප්‍රියයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය වෙයි. එය උපාදානය වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.

’’ගෘහපතිය, කාය විඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ස්පර්‍ශ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට ප්‍රිය කරයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටියිද, එයට ප්‍රිය වන්නාවූ එය ප්‍රියයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය වෙයි. එය උපාදානය වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.

’’ගෘහපතිය, මනෝවිඤඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කටයුතුවූ, ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් මහණතෙම එයට ප්‍රිය කරයිද, එය ප්‍රියයයි කියයිද, එහි ගැලී සිටියිද, එයට ප්‍රිය වන්නාවූ එය ප්‍රියයයි කියන්නාවූ එහි ගැලී සිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය වෙයි. එය උපාදානය වෙයි. ගෘහපතිය, උපාදාන සහිතවූ මහණතෙම නොපිරිනිවෙයි.

’’ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම නොපිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ මේ ප්‍රත්‍යය වේ.

’’ගෘහපතිය, චකඛුවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, රූපද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය නොකෙරේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, එයට ප්‍රිය නොවන්නාවූ එය ප්‍රියයයි නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.

’’ගෘහපතිය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ශබ්ද ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය නොකෙරේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, එයට ප්‍රිය නොවන්නාවූ එය ප්‍රියයයි නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.

’’ගෘහපතිය, ඝාණවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ගන්‍ධ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය නොකෙරේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, එයට ප්‍රිය නොවන්නාවූ එය ප්‍රියයයි නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.

’’ගෘහපතිය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, රස ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය නොකෙරේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, එයට ප්‍රිය නොවන්නාවූ එය ප්‍රියයයි නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.

’’ගෘහපතිය, කාය විඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ස්පර්‍ශ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය නොකෙරේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, එයට ප්‍රිය නොවන්නාවූ එය ප්‍රියයයි නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.

’’ගෘහපතිය, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු වූ, ඉෂ්ඨවූ, කාන්තවූ, මනාපවූ, ප්‍රිය සවභාව ඇත්තාවූ, කම්සැප එලවන්නාවූ, ඇලුම් කරන්නාවූ, ධර්‍මයෝ ද ඇත්තාහ. ඉදින් මහණතෙම එය ප්‍රිය නොකෙරේද, එය ප්‍රියයයි නොකියයිද, එහි ගැලී නොසිටීද, එයට ප්‍රිය නොවන්නාවූ එය ප්‍රියයයි නොකියන්නාවූ එහි ගැලී නොසිටින්නාවූ ඔහුට ඒ තෘෂ්ණාව ඇසුරු කළාවූ විඤඤාණය නොවෙයි. එය උපාදානය නොවෙයි. ගෘහපතිය, උපාදාන නැත්තාවූ මහණතෙම පිරිනිවෙයි.

’’ගෘහපතිය, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් සත්‍වයෝ මේ ආත්මයෙහිම පිරිනිවෙත්ද, මේ වනාහි එයට හේතුවේ. මේ ප්‍රත්‍යය වේයයි වදාළේය.