සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

3. සබ්බ වර්‍ගය

2. පහාණ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, සියල්ල පහකිරීම පිණිස තොපට ධර්‍ම දේශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, සියල්ල පහකිරීම පිණිසවූ ධර්‍මය කවරේද?

’’මහණෙනි, ඇස දුරු කටයුතුයි. රූපයෝ දුරු කටයුත්තාහ. චක්ඛු විඤ්ඤාණය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය දුරු කටයුතුයි. චක්ඛු සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

’’මහණෙනි, කණ දුරු කටයුතුයි. ශබ්දයෝ දුරු කටයුත්තාහ. සොත විඤ්ඤාණය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය දුරු කටයුතුයි. සොත සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

’’මහණෙනි, නාසය දුරු කටයුතුයි. ගන්‍ධයෝ දුරු කටයුත්තාහ. ඝාණ විඤ්ඤාණය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය දුරු කටයුතුයි. ඝාණ සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

’’මහණෙනි, දිව දුරු කටයුතුයි. රසයෝ දුරු කටයුත්තාහ. ජිව්හා විඤ්ඤාණය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය දුරු කටයුතුයි. ජිව්හා සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. ’’මහණෙනි, කය දුරු කටයුත්තාහ. ස්පර්‍ශයෝ දුරු කටයුත්තාහ. කාය විඤ්ඤාණය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය දුරු කටයුතුයි. කාය සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි.

’’මහණෙනි, සිත දුරු කටයුතුයි. ධර්‍මයෝ දුරු කටයුත්තාහ. මනො විඤ්ඤාණය දුරු කටයුතුයි. මනො සම්ඵස්සය දුරු කටයුතුයි. මනො සම්ඵස්සය නිසා යම් සැප වේදනාවක් හෝ, දුක් වේදනාවක් හෝ, සැපද නොවූ, දුක්ද නොවූ වේදනාවක් හෝ උපදීද, එයද දුරු කටයුතුයි. මහණෙනි, මේ වනාහි සියල්ල දුරුකිරීම පිණිසවූ ධර්‍මය වේය’’ යි (වදාළ සේක.)