සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
8. ගිලාන වර්‍ගය
6. අවිජ්ජා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
’’ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේදැ’’ යි ඇසීය.
’’මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය’’ යි වදාළ සේක.
’’ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්දැ’’ යි ඇසීය.
’’මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ’’ යයි වදාළ සේක.
’’ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?’’
’’මහණ, ඇස වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රූපයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු විඥානය දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී’’ යයි වදාළ සේක.
’’මහණ, කණ වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ශබ්දයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී’’ යයි වදාළ සේක.
’’මහණ, නාසය වනාහි අනිත්‍ය වශයෙන් අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ගන්‍ධයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී’’ යයි වදාළ සේක.
’’මහණ, දිව වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. රසයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී’’ යයි වදාළ සේක.
’’මහණ, කය වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ස්පර්‍ශයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී’’ යයි වදාළ සේක.
’’මහණ, සිත වනාහි අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ විඥානය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද එයද අනිත්‍ය වශයෙන් දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ. විද්‍යාව උපදියි. මහණ, මෙසේ දන්නාවූ, දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේ, විද්‍යාව උපදී’’ යයි වදාළ සේක.