සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

8. ගිලාන වර්‍ගය

7. අවිජ්ජා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවහට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේද?’’

’’මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, එබඳු එක් ධර්‍මයක් ඇත්තේය’’ යි වදාළ සේක.

’’ස්වාමීනි, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරු වේද, විද්‍යාව උපදීද, ඒ නම් කවර එක ධර්‍මයක්ද?’’

’’මහණ, යමක්හු දුරුකිරීමෙන් භික්‍ෂුවට අවිද්‍යාව දුරුවේද, විද්‍යාව උපදීද, අවිද්‍යාව වනාහි ඒ එක ධර්‍මය වේ’’.

’’ස්වාමීනි, කෙසේ දන්නාවූ, කෙසේ දක්නාවූ භික්‍ෂුවහට අවිද්‍යාව ප්‍රහීණවේද, විද්‍යාව උපදීද?’’

’’මහණ, මෙහි භික්‍ෂූහු විසින් සියලු ධර්‍මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි අසන ලද්දේ වෙයි. මහණ, ඉදින් මෙසේ සියලු ධර්‍මයෝ තමායයි ඇතුළත්කොට ගැනීමට නුසුදුසුයයි භික්‍ෂූහු විසින් අසන ලද්දේද, හෙතෙම ඒ සියලු ධර්‍මය දනියි. සියලු ධර්‍මය දැන, සියලු ධර්‍මය පිරිසිඳ දනියි. සියලු ධර්‍මය පිරිසිඳ දැන, සියලු නිමිති අන් දෙයක් වශයෙන් දකියි. ඇස අන් දෙයක් වශයෙන් දකියිද, රූපයන් අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

’’කණ අන් දෙයක් වශයෙන් දකීද, ශබ්දයන් අන් දෙයක් වශයෙන් දකීද, සෝත විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

’’නාසය අන් දෙයක් වශයෙන් දකීද, ගන්‍ධය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

’’දිව අන් දෙයක් වශයෙන් දකීද, රසය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

’’කය අන් දෙයක් වශයෙන් දකීද, ස්පර්‍ශය අන් දෙයක් වශයෙන් දකීද, කාය විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද,

’’සිත අන් දෙයක් වශයෙන් දකීද, ධර්‍මය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ විඤ්ඤාණය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය අන් දෙයක් වශයෙන් දකීද, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද අන් දෙයක් වශයෙන් දකීද, මහණ, මෙසේ වනාහි දන්නාවූ, මෙසේ දක්නාවූ භික්‍ෂුවට අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදීයයි වදාළ සේක.