සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

2. වේදනා සංයුත්තය

3. අට්ඨසත පරියාය වර්‍ගය

6. භික්ඛු සූත්‍රය. (2)

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි වනාහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට , ස්වාමීනි, වේදනාවෝ කවරහුද වේදනාවන්ගේ හේතුව කෙසේද වේදනාවන්ගේ හටගැනීම කරා පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේදැයි? විචාළහ.

’’මහණෙනි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය දුක් වේදනාය, උපෙක්‍ෂා වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්‍ශයාගේ පහළවීමෙන් වේදනාවගේ පහළවීම වේ. තෘෂ්ණාව වේදනා හටගැනීමට පැමිණෙන පටිපදාවයි. ස්පර්‍ශයාගේ නිරෝධය හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වේ. මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්‍මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්‍ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවගේ ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවගේ ආදීනවයයි. වේදනාවගේ යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවගේ නිස්සරණයයි.,