සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

3. බල වර්ගය

8. ඨාන සූත්‍රය

“මහණෙනි, නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් මේ කරුණු පසක් දුකසේ ලැබිය යුත්තාහ. මහණෙනි, කවර පසක්ද යත් සුදුසු කුලයක උපදින්නෙමියි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභවූ පළමුවෙනි කරුණවෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වාසය කරන්නෙමි යන මේ කාරණය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක් වන්නෙමි යන මෙය නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ සතරවන කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකටගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා පවතින්නෙමියි යන මෙය නොකළ පින් ඇත් ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභවූ පස්වෙනි කාරණය වෙයි. මහණෙනි, මේ කරුණු පස නොකළ පින් ඇති ස්ත්‍රිය විසින් ලැබීමට දුර්ලභ කරුණු පසවෙත්. මහණෙනි, කරනලද පින් ඇති ස්ත්‍රිය විසින් පහසුවෙන් ලැබිය හැකි මේ කරුණු පසක් වෙත්. කවර පසක්ද යත් මහණෙනි සුදුසු කුලයක උපදින්නෙමි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි පළමුවෙනි කරුණ වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට යන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි දෙවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි තුන්වෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක් වන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි සතරවෙනි කාරණය වෙයි. මහණෙනි, සුදුසු කුලයක ඉපිද සුදුසු කුලයකට ගොස් සැතිරියක් නැතිව ගෙයි වසන්නී පුත්‍රයන් ඇත්තියක්ව ස්වාමියා මැඩපවත්වා වසන්නෙමියි යන මෙය කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි පස්වෙනි කරුණ වෙයි. මහණෙනි, මේ කළ පින් ඇති ස්ත්‍රිය විසින් සුවසේ ලැබිය හැකි කරුණුපස වෙත්.”